විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (06) ස්ථාවර නියෝග 27(2) යටතේ අසනු ලැබූ ප්‍රශ්නය.

ත්‍රී රෝද රථය සාමාන්‍ය ජනතාව බොහෝ සෙයින් සිය ප්‍රවාහන මාධ්‍ය වශයෙන් යොදා ගනී. එසේ වුව ද පසුගිය කාලයේ දී රට තුළ උද්ගතව තිබූ ඉන්ධන අර්බුදය නිසා ත්‍රී රෝද රථ භාවිතය ද බොහෝ දුරට අඩුවිය. එම නිසා, මගී ප්‍රවාහන සේවයේ යෙදුණු බොහොමයක් ත්‍රී රෝද රථ හිමියන් අන්ත අසරණ තත්ත්වයකට පත්වුණි. ඇතැම් ත්‍රී රෝද රථ හිමියන් මගී ප්‍රවාහන සේවයේ යෙදීම සම්පූර්ණයෙන් ම නතර කොට තිබුණි.
අද වනවිට එම තත්ත්වය යම්තාක් දුරට සමනය වී තිබුණ ද, රජය මගින් මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ත්‍රී රෝද රථ සඳහා සහ පුද්ගලික භාවිතයට ගනු ලබන ත්‍රී රෝද රථ සඳහා සතියකට ලබා දෙනු ලබන ඉන්ධන ප්‍රමාණවත් නොවීම නිසා ඔවුන් අපහසුතාවයට පත් වී ඇත. විශේෂයෙන් ම මේ නිසා මගී ප්‍රවාහන සේවයේ යෙදෙනු ලබන ත්‍රී රෝද රථ හිමියන්ට ප්‍රමාණවත් දෛනික ආදායමක් උපයා ගැනීමට නොහැකි වී ඇත. කෙසේ නමුත්, ත්‍රී රෝද රථ සේවාවන්හි නියුතු පෞද්ගලික ආයතන විසින් සිය ආයතනයේ ලියාපදිංචි වී ධාවනය වන ත්‍රී රෝද රථ සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබා දීමට ක්‍රියා කරන බවට ද තොරතුරු වාර්තා වේ. එබැවින්, එසේ පෞද්ගලික ආයතනයක් සමග සම්බන්ධ නොවී තනිවම ත්‍රී රෝද රථ සේවය සිය ජීවිකාව කොටගත් කුලී රථ හිමියන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇත. මේ නිසා ඔවුනට ලබා ගත් ලීසිං ණය වාරික පවා ගෙවීමට නොහැකිව අසීරු තත්ත්වයකට ඇද වැටී තිබේ.
ඒ අනුව, පහත ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

ජාතික ඉන්ධන අවසර පත්‍රය අනුව මගී ප්‍රවාහන සේවයේ නියුතු ත්‍රී රෝද රථ හිමියන් සඳහා සතියකට ලබා දෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් යැයි රජය සිතන්නේ ද? මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ත්‍රී රෝද රථ සඳහා එකී ප්‍රමාණයන්ගෙන් ඉන්ධන ලබා දිය යුතු යැයි තීරණය කරන ලද්දේ කුමන පදනමක් යටතේ ද?

මගී ප්‍රවාහන සේවයේ නියුතු ත්‍රී රෝද රථ හිමියන් සඳහා කෝටාව මගින් සතියකට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීමට රජය අපේක්ෂා කරන්නේ ද? එසේනම්, ඒ කොපමණ ප්‍රමාණයකින් ද? කවදා වනවිට ද?

ත්‍රී රෝද රථ හිමියන් සඳහා තමා පදිංචි ප්‍රදේශයේ ම ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන ලබා ගත යුතුය යන කොන්දේසිය තවදුරටත් ක්‍රියාත්මක වන්නේ ද? අනෙකුත් රථ වලට මෙන් ත්‍රී රෝද රථ හිමියන්ට ද ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව ලබා දිය නොහැක්කේ ද? ඒ මන් ද?

දෛනික ආදායම අඩුවීම නිසා මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ත්‍රී රෝද රථ හිමියන්ට ලීසිං ණය වාරික පවා ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. ඒ සඳහා යම් සහන වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කරන්නේ ද? ඒ කුමක් ද?

ත්‍රිරෝද රථ මගින් ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්නා මගී ජනතාවට ගුණාත්මක භාවයෙන් උසස් සුරක්ෂිත ලාබදායි සාධාරණ සේවාවක් ලබාදීම සඳහාත්, එම සේවාව සපයන කුලී ත්‍රිරෝද රථ රියදුරන්ගේ සුබසාධනය ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඉවහල් වන්නාවූ විධිමත් නියාමනයකට ඇතුළත් කර ගැනීම සඳහාත් රජය මෙතෙක් ගෙන ඇති පියවර මොනවාද?

සජිත් ප්‍රේමදාස (පා.ම.)
විපක්ෂ නායක