රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා, වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කරමින්, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් යුද හමුදාව, පොලීසිය සහ වෙරළාරක්ෂක බළකායට ඕනෑම මොහොතක ඕනෑම පුද්ගලයෙකු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ බලය ලබාදී ඇති බවයි එම පෙත්සමෙන් ‌පෙන්වා දී ඇත්තේ.

ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මූලික අයිතීන් උල්ලංඝනය වන බවද අදාළ පෙත්සමේ දක්වා තිබෙනවා.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත්තේ.