නව රජයේ රාජ්‍ය ඇමතිවරු 40ක්  හෙට (08) දිවුරුම් දීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව නව රාජ්‍ය ඇමති ධූර සඳහා ප්‍රවේශ නිර්මාණය වනු ඇති බවත්  ඒ අවස්ථාව අනුව අදාල සංශෝධන සිදුවිය හැකි බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

මුලින් දිවුරුම් දෙන්නේ රාජ්‍ය ඇමතිවරු වීම විශේෂත්වයක් වන්නේ තවමත් කැබිනට් ඇමති මණ්ඩලය නිසි ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමේ එකඟතාවයක් ඇති වී  නොතිබීම හේතුවෙන් බව වාර්තා වේ.

කෙසේ වෙතත්   10 වැනිදාට පෙර නව කැබිනට් ඇමති මණ්ඩලය දිවුරුම් දෙන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග මීට පෙර ලංකාසරට සනාථ කළේය. ඒ ජාතික ආණ්ඩුවක් ලෙසය.

මේ  ඇමති මණ්ඩලයේ කැබිනට්, නියෝජ්‍ය සහ රාජ්‍ය  ඇමති ධූරවල එකතුව සියය ඉක්මවා යනු ඇතැයි ද  එම ආරංචි මාර්ග  පැවසුවේය.

කැබිනට් ඇමතිවරු 35 දක්වා වැඩි වීමට ඉඩ ඇති බවත්, ඊට සමාන නියෝජ්‍ය ඇමති ධූර  ලබා දිමට සැලසුම් වී ඇති බවත් වාර්තා විය.

වාර්තාවන පරිදි  හෙට (08) දිවුරුම් දෙන්නේ ඉන් රාජ්‍ය ඇමතිවරු 40 දෙනෙකි.  මේ රාජ්‍ය ඇමතිවරු සංඛ්‍යාව පසුව වැඩි වීමට ඉඩ තිබේ. පසුගිය ආණ්ඩුවේ විවිධ අවස්ථාවල  සිටි සියලුම රාජ්‍ය ඇමතිවරු එම ධූරවල පිහිටුවීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී   ඇත.

මේ ආණ්ඩුවේ පොහොට්ටුව නියෝජන කරන අති බහුතරයකට රාජ්‍ය ඇමති ධූර, නියොජ්‍ය ඇමති ධූර හෝ කැබිනට් ඇමති ධූර ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වී තිබේ.

මීට අමතරව ආණ්ඩුවට අලුතින් එකතුවන සෑම සුලු පක්ෂයකටම රාජ්‍ය ඇමති ධූරයක් ලබා දීමට සැලසුම් කර ඇත. ආණ්ඩුවට එක්වන ප්‍රමාණය අනුව ඔවුන්ගේ කෝටාව සලකා බලා නියෝජ්‍ය අමාත්‍ය ධූරද ප්‍රදානය කරනු ලැබේ.