‘‘බිලියන 16 වැය කරලා හදපු දේශිය ආදායම්බදු දෙපාර්තමේන්තුවේ RAMIS පද්ධතිය අසාර්ථක වෙලා තිබෙන බවත් ඒ අනුව TIN හැඳුනුම්පත් ලක්ෂ 9 ක් නිකුත් කිරිමේදී දේශිය ආදායම්බදු දෙපාර්තමේන්තුව තුළ අර්බුදකාරී තත්වයක් ඇතිවී තිබෙන බවත් පාර්ලිමේන්තු  නිරෝෂන් පාදුක්ක මහතා පවසනවා.

හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා ඊයේ (29) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පැවැසීය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ 2023 දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව ට්‍රිලියන 1.6 ක ආදායමක්උපයා තිබෙන අතර ගෝඨාභය රාජපක්ෂගේ අවසන් අවුරුද්දේ දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම බිලියන 500 පහත වැටි තිබෙන බවත් මේ වනවිට ට්‍රිලියන 1.6 ක් දක්වා වැඩිවී තිබෙන බවත්ය. ඒ අනුව ජනතාවගෙන් බදු අයකරගැනීම සියයට 325 කින් වැඩිවී තිබෙන නමුත් මේ වන විටත් ණය ගෙවීම ආරම්භ කර නැති බව එතුමා අවධාරණය කරයි.

වත්මන් රජය රටේ ව්‍යාපාරිකයන්ට එක් නීතියක් ක්‍රියාත්මක කරන බවත් මහජනතාවට තවත් නීතියක් ක්‍රියාත්මක කරන බවත් කියා සිටි පාදුක්ක මහතා පෙන්වා දෙන්නේ මෙන්ඩිස් සමාගම සුරාබදු දෙපාර්තමේන්තුවට මිලියන 4000 ක් බදු නොගෙවා තිබෙන පසුබිමක එම සමාගමටම නැවතත් බලපත්‍ර නිකුත් කර තිබෙන බවයි.