“රට කරවන්ට නම් මසුරං නැතුව බැරී…
වටිනා කියදේ විකිණිය යුතුය රටේ…
අමන දනන් කෑ ගැසුවත් සතර අතේ…
මේවා නොවික්කොත් අපි හැම මකර කටේ…”

නන්දා මාලනිය ගායනා කරන මේ ගීතය ගෝඨාභය-මහින්ද අයිය මලෝ රාජපක්ෂලාගේ පොදුජන පෙරමුණු ආණ්ඩුවේ තේමා ගීතය සඳහා හොඳින්ම ගැලපෙන්නකි.

අද තත්වය එසේ වුවද, අනූව දශකයේ ‘කම්කරු ප්‍රඥප්තිය’ ගෙන එමින් මහින්ද රාජපක්ෂ මෙරට වෘත්තිය සමිති ක්ෂේත්‍රය තුළ විශ්වාසය දිනා ගත්තේ වැඩකරන ජනතාවගේ එකම ගැළවුම්කරුවා වශයෙන්ය. බාලා තම්පෝලාටද, අලෙවි මවුලානාලාටද, තිස්ස දේවේන්ද්‍රලාට පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකත්වය ඉසිලූ ලාල් කාන්තලාටද එකල මහින්ද හැර සටන් සගයෙක් නොමැති වූ සෙයක් විය.

මහින්දගේ සීතාම්බර සළු වලින් වැසී ගිය ව්‍යාජත්වය බොහෝ අය අත් වින්දේ ඔහු ජනාධිපති ධූරයට පත්වීමත් සමඟය. මහින්ද ජනාධිපති සමයේ මහින්දගේ වෘත්තීය සමිති නායකත්වය දැරුවේ කුප්‍රකට පේමන්ට් කප්පම්කරුවෙකු වූ මහින්ද කහඳගමගේ වැන්නන්ය.

දැන් පැමිණ ඇත්තේ මහින්දලාගේ දෙවැනි පුනරුප්පත්ති සමය හෙවත් ගෝඨාභයගේ වාරයයි. ජනතාවට මෙන්ම ආණ්ඩුවටද වැලේ වැල් නැති වුවද නාමිකව මෙසමය හැඳින්වෙන්නේ සෞභාග්‍යයේ දැක්ම ලෙසය. එය පළමු සමය වූ 2005-2015 ට වඩා බොරුවෙන්ද, කොල්ලකෑමෙන්ද, මහජන දේපල තොග මිළට විකුණන, ගසා කන යුගයයි.

සෞභාග්‍යයේ දැක්ම යටතේ පළමුවෙන්ම වෙන්දේසියේ දැමුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයයි. එහි වෘත්තීය සමිති වල සිටි බොහොමයක් මෙම ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා සුවිශේෂී කැපකිරීම් කළ සේවක පිරිස් වලින් යුක්ත විය. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට විකිණීම වළක්වා ගැනීමට නොතිත් වෙහෙසක් ගත් ඔවුන් අවසානයේ තීරණය කළේ මරාන්තික උපවාසයක් කිරීමටය. රාජපක්ෂලාගේ සුපුරුදු බොරු තියරිය එතැනදීද භාවිත කරමින් අගමැති වරයා පැවසුවේ මේ ගැන තමා කිසිවක් නොදන්නා බවය. මේ උපවාසය අවසන් වූයේ වරාය වෘත්තීය සමිති නිලධාරීන් අගමැති මහින්ද රාජපක්ෂ විසින් තංගල්ල කාල්ටන් නිවසට ගෙන්වා ‘විකුණන්නේ නැතැයි’ කියා පොරොන්දු වීමෙන් පසුවය. වරාය අධිකාරියට අයත් වන්නේ, දැනට වරායේ ඇති නොගැඹුරුම සහ නොදියුණුම ජැටිය පමණි.

එපමණක් නොව, තිරිකුණාමලේ තෙල් ටැංකිද, ලබන අවුරුද්දේ සියලු ණය ගෙවී ජනතා අයිතියට හිමිවීමට ඇති යුගදනව් බලාගාරයද, අක්කර දහස් ගණනක ශ්‍රී ලංකා භූමියද, වරායේ හා කොළඹ නගරයේ වටිනා ඉඩම්ද, කොළඹ පිහිටි පෞරාණික වටිනාකමක් සහිත ගොඩනැගිලිද ඇතුළු දේපල රැසක් මේ වන විටත් නොරටුන්ට විකුණා දමා රාජපක්ෂලාගේ කොමිස් කුට්ටිය බැංකු ගතවීත් හමාරය.

මේ අවනඩුව වෙනුවෙන් පෙරමුණ ගැනීමට එදත් අදත් ඉදිරියට පැමිණියේ වෘත්තීය සමිති ක්‍රියාදරයෝය. ඔවුන් සෑම කලම ඊට නායකත්වය දීමට තෝරා ගත්තේ අනාගතයේ පාලනය හෙබවීමට පහසු ඉඩක් ඇති දේශපාලන පක්ෂ නායකත්වයයි. ඒ අනුව මෙරට ආර්ථික මර්මස්ථාන වල වෘත්තීය සමිති නායකයෝ මෙවර තෝරා ගත්තේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාය. මෙම කණ්ඩායමට විදුලිබල මණ්ඩලය, වරාය අධිකාරිය, ඛනිජ තෙල් සංස්ථාව නියෝජනය කරමින් වෘත්තිය සමිති නායකයින් පැමිණ සිටි අතර, එම ආයතන නියෝජනය කරන ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය, සමගි සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ ස්වාධීන සේවක සංගමය යන වෘත්තීය සමිති එක්ව සිටියහ.

මෙම වෘත්තීය සමිති බොහොමයක් සමගි ජන බලවේගය සමඟ දේශපාලන ක්‍රියාදාමයක නිරත පිරිසක් නොවේ. මොවුන් පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පෙරමුණ වැනි පක්ෂ යන්ත්‍රණයට සහාය දක්වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් විපක්ෂ නායකවරයා හමුවී පසුගිය දිනෙක සාකච්ඡා කිරීමද කැපී පෙනෙන සිදුවීමක් විය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ කොතලාවල පනත හරහා සිදුකිරීමට උත්සාහ කළ නිදහස් අධ්‍යාපනයේ විනාශය නතර කරලීමත් ශිෂ්‍ය මර්ධනය නතර කරලීමත් සඳහා සහාය ඉල්ලා සිටීමටය.

පක්ෂ, විපක්ෂ පමණක් නොව දැඩි සමාජවාදීන් පවා වත්මන් රාජ්‍ය දේපල වෙන්දේසිය සහ ආණ්ඩුවේ මර්ධනකාරී ක්‍රියාකාරීත්වය නතර කරලීම සඳහා සිදු කරන ඉල්ලීම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සුළුවෙන් තැකිය යුත්තක් නොවන බවද මෙහිලා අප අවධාරනය කළ යුතුය. පාට, පක්ෂ භේදයකින් තොරව ඔවුන් විසින් තබා ඇති විශ්වාසය ආරක්ෂා කොට සපුරා ලීම විපක්ෂ නායකවරයාගේ අද දවසේ වගකීමය. එය මීට පෙර රාජපක්ෂලා භාවිත කළ ආකාරයට බලය ලබාගැනීමට යොදාගෙන, බලය ලබාගත් පසු සුපුරුදු ක්‍රියාදාමය නොකරන බවට විශ්වාසය ඇති කළ යුතුය.

කෙසේ වුවද පසුගිය ඔක්තෝබර් 06 දා වෘත්තීය සමිති නායකන් හමුවූ විපක්ෂ නායක වරයා කියා සිටියේ, සමගි ජන බලවේගයේ නායකයා ලෙස තමන්ද, සජබ මහ ලේකම්වරයාද, විපක්ෂයේ පක්ෂ නායකයින්ද, වෘත්තීය සමිති නායකයින්ද සතිපතා එක්ව වැඩබිමේ සහ වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා කිරීමේ මධ්‍යස්ථානය බවට විපක්ෂ නායක කාර්යාලය පත් කරන යෝජනාවකි.

මෙම අවස්ථාවේ වූ සුවිශේෂී සිදුවීම වූයේ, ඉදිරියේ දී බිහි වන සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රටේ ජාතික හා ආර්ථික මර්මස්ථාන පිළිබඳව සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ කම්කරු ප්‍රජාවත්, වෘත්තිය සමිති සියල්ලත් සමග සාකච්ඡා කොට ඔවුන්ගේ පූර්ණ එකඟතාවයන්ට අනුකූලව වන ලෙස බවට ලිඛිත සහතිකයක්ද විපක්ෂ නායකවරයා විසින් වෘත්තීය සමිති නායකයන්ට ලබාදීමය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී කියා සිටියේ, දේශීය සහ ජාතික සම්පත් සුරක්ෂිත කිරීම තම ප්‍රමුඛතම ප්‍රතිපත්තිය බවය. අද වනවිට අපේ රට බලවත් රාජ්‍යයන්ගේ වෙන්දේසි පොළක් බවට පත්ව ඇති බවත්, ආණ්ඩුව, ජාතික සහ ආර්ථික වශයෙන් වැදගත්කමක් ඇති සියලු මර්මස්ථාන කුණු කොල්ලයට විකුණා දමමින් සිටින බවත්, හොර රහසේ ජාත්‍යන්තර ඩීල් ක්‍රියාත්මක කරන තැනට ආණ්ඩුව පත්ව ඇතැයි වැඩිදුරටත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මෙම තත්වයෙන් රට බේරාගැනීමට එක්ව සටන් කරමු’ යැයි ඉල්ලීමක්ද කළේය.

උපුල් ගලප්පත්ති.