ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට ගිය මුදල් ඇමැති අලි ශබ්රි සියධූරයෙන් ඉල්ලා අස්වීම සදහා වන ලිපියක් ජනාධිපතිවරයාට භාරදී ඇති බවද, එසේ ඉල්ලා අස්වූ ඇමැතිවරයෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම නීත්‍යානුකූලදැයි ප්‍රශ්ණ කරන බවද මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා පැවසුවේය.
 
ඔහු නැවත වරක් මුදල් ඇමැතිවරයා ලෙස දිවුරුම්දුන්නේද, නැතිනම් ජනතාව රැවටීම සදහා ඉල්ලා අස්වීමේ ලිපියක් යැව්වේද යන්න පැහැදිළි කළ යුතු බවද මන්ත්‍රීවරයා කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

අරගලය රටේ හැම තැනම මිනිස්සු එළියට බැහැලා. ගාල්ල, මාතර, මහනුවර හැම තැනම මිනිස්සු පාරට බැහැලා. තෙල් මිල ඉහල ගිහින්. පාන් ගොඩියක මිල, ප්ලේන්ටියේ ඉදලා බඩු මිල ඉහළට යනවා. මේකට වග කියන ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හොර නඩයට ගෙදර යන්න කියලා තමයි ජනතාව කියන්නේ. දැන් අරගල භූමියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න හදනවා.

කොටුව මහේස්‍රාත් විදියට පත් කරලා තියෙන, අධිකරණ පද්ධියේ තියෙන දූෂිත, අලි හොරකමකට සම්බන්ධ තිළිණ ගමගේ කියන පුද්ගලයෙක් පත් කරලා, කොළඹ උද්ඝෝෂණය විසුරවාහැරීමට උත්සාහ ගන්නවා. අධිකරණය හෑල්ලුවට ලක් කරන්න එපා. මේ රටේ මිනිස්සු වෙනුවෙන් තමයි ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය තියෙන්නේ.

ජනතාව පාරට බහිනකොට ඒක මර්දනය කරන්න හදනකොට, ආණ්ඩුවේ බුද්ධි අංශයම 225ම එපා කියලා කියනවා. වද කොත්තු, වද පෙති පෙන්නලා අන්තිමේදී පාස්කු ප්‍රහාරයත් කරලා ගෝඨාභය රාජපක්ෂ ඡන්දෙට ගේනකොට මේ සටන් පාඨය තමයි ඉදිරියට ගෙනාවේ. ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් වගේ කියලා තමයි අරගෙන ආවේ. දැන් ඒ අය කෝ?

මුලින්ම ඇවිත් මම තමයි හොදටම කළේ කිව්වා. ඊට පස්සේ මෙය මා විසින් නිර්මාණය කළ අර්බුදයක් නොවේ කියලා කිව්වා. දැන් මට වැරැද්දක් වුනා කියනවා කියලා කිව්වා.

ජනාධිපතිට අවුරුද්දක් පිරෙනකොට සර් ෆේල් කිව්වා. ෆේල් වෙන එක හදාගන්න කිව්වා. හැබැයි සර්ට ෆේල් වෙන එක හදාගන්න බැරිවුනා.

දැන් ඇවිත් වෙලාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න බැරිවුනා කියලා කියනවා. රසායනික පොහොර දෙන්න බැරිවුනා කියලා කියනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න බැරිවීම නිසා දුක් විදින ජනතාව වෙනුවෙන් වන්දි ගෙවන්නේ කවුද? ආහාර හානියට, ගොවීන්ට වුන හානියට වන්දි ගෙවන්නේ කවුද? මැදමුලනේ පොල් කඩපු සල්ලිවලින්ද ඒවා ගෙවන්නේ? මේවා මිනිසුන්ගේ මුදල්වලින් ගෙවන්න වෙන්නේ

මේ රටේ සිනි බදු වංචාවක් වුනා. ඒ මුදල් අය කරගන්න කියලා විගණකාධිපති කියනවා. සීනි බදු වංචාකරපු සජාත් මවුසෆ් ගෙනත් කෝ සල්ලි කියලා ඇහුවද? මේ හොරකම් කළ සල්ලි ආණ්ඩුව අරගන්න ඕන. ඇන්ටිජන්වලින්, එන්නත්වලින් හොරකම් කරපු සල්ලි ජනතාවගේ මුදල්.

දැන් වරදක් වුනාම කවුද වන්දි ගෙවන්නේ. හරි වෙලාවට එන්නත් ගෙනාපු නැති නිසා, හැටට වැඩි අයට එන්නත් දෙන්න එපා කියපු නිසා අට දහසක් විතර මිය ගියා. මේ අයගේ ජීවිතවලට වන්දි ගෙවන්නේ කවුද

මේ වාගේ වරදක් කරලා අඩනවා වගේ කතා කරලා, අනුකම්පාව ගන්න හදනවා. පොහොර තහනම හරවන්නේ නෑ කියලා කියපු සද්දේ දැන් නෑ. සද්දේ හුලං බැහැලා.

සකක්රයාගේ පුතා වයිමා නෙමෙයි, මොකා අරගෙන ආවත් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන තුරු මේ ප්‍රශ්ණවලට විසදුම් ගන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන්න ඕන.

දැන් ලපටි, සිගිති කැබිනට් මණ්ඩලයක් පත් කිරීමෙන් මේ ප්‍රශ්ණවලට විසදුම් ගන්න බෑ. මහාචාර්ය චන්න ජයසුමන කියලා කියනවා. රස්සාවෙන් අයින් වුනාට පස්සේ මහාචාර්යකම නෑනේ. ඒත් තවම මහාචාර්ය කියලා පාවිච්චි කරනවා. දැන් පොලීසිය භාරදීලා තියෙන්නේ කප්පම් නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයෙන්  තීන්දුවක් ලැබීමට බලාගෙන සිටින පුද්ගලයෙක්ට.

අපි සමගි ජන බලවේගය විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කිව්වා. ඒවා කියනකොට හිනාවෙවි හිටියා. අද අලි ශබ්රි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් තියෙනවා. ඔහු අධිකරණ ඇමැතිධූරයෙන් ඉවත් වෙලා මුදල් ඇමැතිවරයා විදියට දිවුරුම් දුන්නා. ඊට පස්සේ ඔහු මුදල් ඇමැතිවරයා විදියට දිවුරුම් දුන්නා. මුදල් ඇමැතිධූරයෙන් ඉවත්වීමට ජනාධිපතිවරයාට ඔහු ලිපියක් යවා තිබෙනවා. ඒ ලිපිය ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියේ නැවත වරක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීලාද? අපි එහෙම නැවත වරක් මුදල් ඇමැතිධූරයේ දිවුරුම් දෙනවා දැක්කේ නෑ. එහෙමනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවට ගිහින් තියෙන්නේ නීත්‍යානුකූල මුදල් ඇමැතිවරායද කියන ප්‍රශ්ණය තියෙනවා.

ඉල්ලා අස්වුනා කියලා බොරුවක් කළේ කියලා එහෙම නැතිනම් කියන්න.

මම තමයි හොදටම කළේ කියලා ජනාධිපතිවරයා කිව්වා. ඊට පස්සේ මෙය මා විසින් නිර්මාණය කළ අර්බුදයක් නොවේ කියලා කිව්වා. දැන් වරදක් වුනා නම් සමාවෙන්න කියලා කියනවා. හෙට දවසේ ඇවිත් ඉල්ලා අස්වෙන්න ප්‍රමාද වුනා කියලා කියන්න පුලුවන්.

එහෙම කිව්වොත් මේ පාරවල්වල මැරී වැටෙන ජනතාවට වග කියන්නේ කවුද? අපි ගෝඨාභය රාජකපක්ෂට කියන්නේ ජනතාවගෙන් හොරකම් කරපු සබ්බ සකලමනාවම ජනතාවට දීලා ඉල්ලා අස්වෙන්න කියලයි. අර උගන්ඩාවට යවපු සල්ලි ටික නැවත මේ රටේ ජනතාවට දීලා ඉල්ලා අස්වෙලා යන්න.