යහපාලන රජය සමයේදී ඉතා අධික මිලට ඖෂධ මිලදී ගනිමින් ඖෂධ මාෆියාවට අවශ්‍ය පරිදි කටයුතු කළ බවට චන්න ජයසුමන මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට චෝදනා කළේය. ඔහු ඖෂධ ලැයිස්තුවක්ද සභාවට ඉදිරිපත් කරමින් ඇතැම් ඖෂධ දස දහස් ගණනින් වැඩි මිලට මිලදීගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දක්වමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ චන්න ජයසුමන මහතා ඊයේ ප්‍රකාශ කළේ පට්ටපල් බොරු බවයි. චන්න ජයසුමන මහතාගේ ලැයිස්තුවේ සඳහන් වූ ඖෂධ එකින් එක ගනිමින් යහපාලන රජය සමයේදී සහ වර්තමානයේදී රජයට මිලදී ගන්නා මිල ගණන් පෙන්වා දෙමින් සේනාරත්න මහතා ඒ බව තහවුරු කරයි.

යහපාලන රජය සමයේදී ඖෂධ වර්ග 48 ක මිල ඉතා විශාල ලෙස අඩු කිරීමට කටයුතු කළ බවත් ඒ හරහා වසරකට බිලියන 4.4 ක් හෙවත් කෝටි 440 ක ලාභයක් ලැබුණු බවත් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා පවසනවා.

චන්න ජයසුමන මහතාගේ ලැයිස්තුවේ සඳහන් මිල ගණන් කිසිවක් යහපාලන රජය සමයේදී මිලදී ගත් මිල ගණන් නොවන බවද රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙනවා.