සෞඛ්‍ය ක්ෂේත්‍රය විනාශ කළ කෙහෙළිය රඹුක්වැල්ලව වත්මන් ආණ්ඩුව විසින් පරිසර අමාත්‍ය ධූරයට පත්කර, සිදුකළ විහිළු සහගත ක්‍රියාව විවේචනය කරමින් සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශයා විසින් “ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව තවත් නාඩගමක් රග දක්වයි” යන මැයෙන් අද (23) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයට අනුව,

සිය විහිළු සහගත බල දේශපාලනයේ අලුත්ම නාඩගම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් රඟ දක්වා තිබේ. ඒ කැබිනෙට්ටුව තුළ කළ අරුම පුදුම ඔලුගෙඩි හුවමාරුවකිනි.

ඒ අනුව විපක්ෂයත් රටේ ජනතාවත් එක්ව දිගින් දිගටම අසාර්ථක බව කී සෞඛ්‍ය අමාත්‍යවරයාට පරිසරය භාර දී තිබේ. සත්‍ය වශයෙන්ම සිදුවන්නේ ස්මාර්ට් රටක් (Smart country) නොව ජිල්මාට් රටක් නිර්මාණය කිරීමය.

මේ වනාහී ජනාධිපතිවරයා හදන්නට උත්සාහ කරන ස්මාර්ට් රටේ (Smart country) ස්වරූපයදැයි අපි ප්‍රශ්න කරමු.

වෙනස් වීම තමන්ගෙන් පටන් ගන්නා බව කී ජනාධිපතිවරයා ලබා දී ඇති විහිලු සහගත ආදර්ශය අපූරුය. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙලිය රඹුක්වැල්ලගේ ක්‍රියාකලාපය අසාර්ථක හෙයින් අප විසින් විශ්වාසභංගයක් ගෙන ආ අතර ආණ්ඩුව එක්ව ඔහු රැකගනු ලැබීය. රටේ සෞඛ්‍යය ක්ෂේත්‍රය කඩා වැටුනත් තමන්ට ඔහුව විශ්වාස බව පවසා රැකගත් සෞඛ්‍ය අමාත්‍යවරයාම අද ජනාධිපතිවරයා විසින් ඉවත්කොට 113කගේ විශ්වාසය නිරුවත් කොට ඇත.

තවදුරටත් හරිත ආර්ථිකය, හරිත සංවර්ධනය වැනි සංකල්ප පිළිබඳ ව කතා කරමින් තමා පරිසරය ගැන ඉතා උනන්දුවක් දක්වන බව පෙන්වීමට උත්සාහ ගන්නා ජනාධිපතිවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රය විනාශ කළ කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ව පරිසර අමාත්‍යවරයා ලෙස පත් කිරීම තුළින් සෞඛ්‍යය ක්ෂේත්‍රයට සිදු වූ පරිහානිය පරිසරයට ද සිදුකිරීමට ඇති ඉඩකඩ විවෘත කර දී ඇත්තේ තමාගේ ප්‍රතිපත්තිවල අරමුණ ජනතාවගේවත් පරිසරයේවත් සුබසිද්ධිය සැලසීම නොව තමාගේ බලය තහවුරු කර ගැනීම සදහා පමණක් වන බව යළි යළිත් තහවුරු කරමිනි.

අනීතික ලෙස විදුලි බිල වැඩි කරමින් සෞඛ්‍යය ක්ෂේත්‍රය ඇතුළු අත්‍යාවශ්‍යය සේවා විනාශයට ගෙන යමින්, සිය බලය රැක ගැනීමට නිර්ලජ්ජිත ක්‍රියාමාර්ගයන්ට ඇතුළු වෙමින් සිදු කරන මේ විහිලු නාඩගම් සහ දේශපාලන සූදුව තවදුරටත් රටේ ජනතාව අනුමත නොකරයි.

දිගින් දිගටම මහජනතාව පීඩනයට ලක් කරමින් අදූරදර්ශී මිලේච්ඡ තීන්දු තීරණ ගනිමින් ඒකාධිපති ආණ්ඩුවක් ලෙස මැතිවරණ සිතියම හකුලාදමමින් ප්‍රජාතන්ත්‍ර විරෝධිව ගෙන යන වැඩ පිළිවෙළ නතර කර වහාම මැතිවරණයක් පවත්වන ලෙස අපි ආණ්ඩුව ට අවධාරණය කරමු.

Samagi Jana Balawegya