මුදල් නොමැති බව පවසා පළාත් පාලන මැතිවරණය නොපවත්වා තිබෙන පසුබිමක ජනමත විචාරණයකින් සම්මත කලයුතු සංශෝධනයක් කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙන්නේ මැතිවරණ ක්‍රමය ව්‍යාකුල තත්වයකට පත්කිරීමට බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය හදිසි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

 

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වුවහොත් ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසමට උපදෙස් ලබාදෙන වතාවරණයක් උද්ගත වන බව, නීතීඥ සාමුහිකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔවුන් පවසන්නේ, එම පනත් කෙටුම්පත සම්මත වී දින 30 ක් ඇතුළත ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවන බවයි.

මේ හරහා ශ්‍රී ලංකාවට ජාතික මැතිවරණ දෙකක බරක් දැරීමට සිදුවන අතර, එය ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කරන බවට නීතිඥ සාමූහිකය අනතුරු අඟවයි.

ඔවුන් තවදුරටත් පවසන්නේ, ජනමත විචාරණයක් පැවැත්වීම යනු රුපියල් බිලියන ගණනන් වැය වන ක්‍රියාවලියක් බවයි.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අරමුදල් නොමැති බවට ශ්‍රී ලංකා රජය අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර ඇති බව ද නීතීඥ සාමූහිකය පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ, මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ ධුර කාලයේ උපරිමය සම්බන්දයෙන් කිසිදු හදිසි අවශ්‍යතාවක් නොමැති බවයි.

යෝජනා කර ඇති ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ ක්‍රමවේදය තවත් අර්බුදකාරී මට්ටමකට ගෙන ඒමේ ප්‍රයත්නයක් බව ඔවුහු පෙන්වාදෙති.

ජනාධිපතිවරණයෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බව ද, නීතිඥ සාමූහිකය සිය නිවේදනයෙන් සිහිපත් කරයි.

එවැනි පසුබිමක ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කර ඇති ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හෙළාදකින අතර, එය මෙරට මැතිවරණ ක්‍රමවේදය විකෘති කිරීමේ උත්සාහයක් බව ද පෙන්වා දෙයි.

සියලූම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මේ ප්‍රයන්තනයන්ට එරෙහිව නැගී සිටිය යුතු බව නීතිඥ සාමුහිකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ජනාධිපති නීතිඥවරු දසදෙනෙකුට අධික සහ තවත් නීතිඥවරු සමූහයක් විසින් ඒකාබද්ධව මෙම නිවේදනය නිකුත් කර තිබේ.