පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ මුදල් වෙන් කරගැනීම ඇතුළු විශේෂ කරුණු කිහිපයක් මුල්කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්,සහ නියෝජිතයින් පිරිසක් ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කථානායකතුමාගේ කාර්යාලයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ 2023 අයවැයෙන් මැතිවරණ පැවැත්වීම සදහා වෙන්කර ඇති  මුදල් පලාත් පාලන  මැතිවරණය පැවැත්වීමට නිදහස් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමටය.

නමුත් එහිදී ආණ්ඩු පක්ෂ නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ එවැනි යෝජනාවක් සම්මත කිරීමට නම් කමිටු අවස්ථා ගණනාවක් පසු කළ යුතු බවත්, හදිසියේ එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බවත්ය.

ඊට පිළිතුරු දෙමින් විපක්ෂනායකවරයා අවධාරණය කොට ඇත්තේ නිසි පටිපාටිය අනුගමනය කරමින් එම යෝජනාව ගෙන ඒමට විපක්ෂය සූදානම් බවත්, මාර්තු 3 වන සතියේ එය ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්ය.

ඒ අනුව ඊට කතානායකවරයා සිය එකඟතාවය පළ කිරීමට පියවර ගෙන ඇත.