2016 පෙබරවාරි මස 28 දින අපරික්ෂාකාරී ලෙස රිය පදවමින් රාජගිරියේදී තරුණයකුට බරපතළ තුවාල සිදු කිරීම, තුවාලකරු රෝහලක් වෙත රැගෙන නොයාම ඇතුළු අධිචෝදනා මත නීතිපතිවරයා විසින් පාඨලී චම්පක රණවක මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව අත්හිටුවන ලෙස අද (24) අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම අතුරු තහනම් මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් අධිකරණ නියෝගයේ සඳහන් වන අතර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අධිකරණය මෙම නියෝග නිකුත් කළේය.

කෙසේ වෙතත් 2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූ ජිප් රථයක් මඟින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතළ අනතුරක් සිදුකිරීම, බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදුකළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 1‍6ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.