විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද 27/2යටතේ පාර්ලිමේන්තුවේදී අසනු ලැබූ ප්‍රශ්නය.

මෙරට දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන පාසල් ගුරුවරුන්ගේ දැනුම ප්‍රශස්ථ මට්ටමකින් පැවතිය යුතුයි. ගුරුවරයා නව තොරතුරු වලින් පරිපූර්ණ විය යුතුයි. සමාජ, ආර්ථික නව ප්‍රවනතා අනුව වෙනස් වන පාසල් විෂය මාලාව පිළිබඳ ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සහ ගුරුවරු අධීක්ෂණය සම්බන්ධයෙන් වූ කාර්යභාරය ඉටු කරනු ලබන්නේ ගුරු උපදේශකවරයායි. මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ අනුමත ගුරු උපදේශක නිළධරයන් සංඛ්‍යාව 4,471 ක් වුව ද, මේ වනවිට සේවයේ නිරත වන්නේ 3,000 කටත් වඩා අඩු නිළධරයන් ප්‍රමාණයක් බවට තොරතුරු වාර්තා වේ. අධ්‍යාපන පද්ධතිය තුළ ගුරු උපදේශකවරුන්ගේ මෙන්ම ගුරු විදුහල්පතිවරුන්ගේ ද සේවා ගැටලු නිරාකරණය කිරීමට වැඩි අවධානයක් රජය විසින් යොමු කළ යුතුව ඇත.

ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

  1. ගුරු උපදේශක සේවාව සඳහා බඳවා ගැනීමේ දී පැවතිය යුතු වෘත්තීය සුදුසුකම් කවරේ ද? පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඒ හා සමාන වෘත්තීය සුදුසුකම් සහිතව බඳවා ගැනීම් සිදු කරනු ලබන වෙනත් සේවාවන් පවතී ද? ඒ මොනවා ද?
  2. ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයේ මේ වනවිට යෙදී සිටින නිළධරයන් සංඛ්‍යාව කොපමණ ද? දැනට පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණ ද? එම පුරප්පාඩු මෙම වසර තුළ දී පිරවීමට රජය අපේක්ෂා කරන්නේ ද? එසේනම්, ඒ කවදා වනවිට ද?
  3. ගුරු උපදේශක සේවයේ වැටුප් පරිමාණ සහ වැටුප් වර්ධක ගුරු සේවයට අනුරූපීව යළි සැකසිය යුතු බව රජය පිළිගන්නේ ද? ඒ අනුව නිසි ගැලපීම් සිදු කිරීමට රජය කටයුතු කරන්නේ ද? එසේනම්, ඒ සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේ ද?
  4. ගුරු උපදේශක සේවයේ පමණක් නොව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු විදුහල්පති ඇතුළු අනෙකුත් සේවාවන්ගේ වැටුප් විෂමතා ගැටලු විසඳීමට රජය මගින් පසුගියදා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කෙරුණු බව වාර්තා විය. එම කමිටුව මගින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මොනවා ද? එම නිර්දේශ සහ සුබෝදනී කමිටු නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන්නේ ද? නොඑසේනම්, ඊට හේතු කවරේ ද?
  5. ගුරු විදුහල්පති සේවාවල උසස්වීම් දීර්ඝ කාලයක් ප්‍රමාද වීම නිසා හිඟ වැටුප් ලබා දීම ප්‍රමාද වීම තුළින් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇත. එම උසස්වීම් ක්‍රියාවලිය කඩිනම් කිරීමට හා හිඟ වැටුප් කඩිනමින් ලබා දීමට රජය කටයුතු කරන්නේ ද? එසේනම්, ඒ සඳහා රජය සතු සැලසුම කුමක් ද? මේ සඳහා මේ වනවිට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේ ද?
    සජිත් ප්‍රේමදාස (පා.ම.)
    විපක්ෂ නායක