සමගි ජන බලවේගයේ දේශපාලනය පවුලක්, පරපුරක්, ඥාතීන් පිරිසක්, ගජ මිතුරන් පිරිසක් රකින දේශපාලනයක් හෝ නොවන බවත් එය මේ රටේ සමස්ත ජනතාව රකින දේශපාලන ව්‍යාපාරයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ලක්ෂ 18 කට ආසන්න වී ගොවියාත්, වැවිලි ගොවියාත් ආණ්ඩුව අන්තනෝමතික ලෙස අගාධයකට ඇද දැමූ බව පැවසූ විපක්ෂ නායකතුමා අද පොහොර, ගෑස්, සීනී, සහල් යනාදිය පමණක් නොව මුළු ආන්ඩුවම ප්‍රමිතියෙන් තොර බව ද පැවසීය.
සමගි ජන බලවේගය අනුබද්ධ සමගි තරුණ බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අද (22) විපක්ෂ නායක සජිත් ප ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
තරුණයාව අධ්‍යාපනිකව, දේශපාලනිකව, ආර්ථිකව සමාජීයව, සෞඛ්‍යමයව, සංස්කෘතිකව සහ ආගමිකව සවිබලගැන්වීම සමගි ජන බලවේග තරුණ ප්‍රතිපත්තියේ අරමුණ බව පැවසූ විපක්ෂ නායකතුමා තම ආණ්ඩුවක් යටතේ ආණ්ඩුවට උපදෙස් දෙන උපදේශක සභාවක් තරුණයින් මූලික කොටගෙන පිහිටුවන බව ද පැවසීය.
කවුරුන් හෝ වේවා රටේ ජනතාවගේ මහජන දේපල මහජන මුදල් මංකොල්ල කා ඇත්නම් ඔවුන් කොන්දේසි විරහිතව නීතිය ඉදිරියට රැගෙන විත් දඬුවම් පැමිණවීම සමගි ජනබලවේගයේ ඒකායන ප්‍රතිපත්තිය බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ මුදල් වහාම ලබාගෙන ජනතා සුබසිද්ධියට යොදවන බවද පැවසීය.
තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙනුත්, තමන්ගේ සාක්කු පුරවා ගැනීම වෙනුවෙනුත් ජනතාවගේ දේපළ සහ මුදල් මංකොල්ල කෑ යුගය ඒකාන්ත ව ම අවසන් කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, එය අනාගත රජයක තිරසාර ප්‍රතිපත්තියක් බවද කීය.
එදා ජේ ආර් ප්‍රේමදාස ලලිත් ගාමිණී ඇතුළු දේශපාලන පතාකයින් ඊට පෙර පැවති වසර හතක අදූරදර්ශී පාලනය හරහා විනාශ වුණු රට ගොඩනැගීම වෙනුවෙන් දැවැන්ත විප්ලවයක් සිදු කළ බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ ප්‍රායෝගික වැඩ පිළිවෙළ සිහි තබාගෙන, හිස් වචන, බොරු බලාපොරොත්තු, බොරු පොරොන්දු වෙනුවට ප්‍රායෝගික වැඩපිළිවෙළක් හරහා රට ගොඩනැගීමේ අනාගත වැඩපිළිවෙල සමගි ජන බලවේගය ආරම්භ කරන බවද පැවසීය.
මේ රටේ තරුණ නියෝජනය පිළිබඳව සිය අවධානය සෑම විටකම යොමු කළ බව පැවසූ විපක්ෂ නායකතුමා තමන් ජනාධිපතිවරණ සමයේදී තරුණ ප්‍රඥප්තිය එළිදක්වමින් සනාථ කළේ අනාගත තරුණ වැඩපිළිවෙළ බවද පැවසීය.