පරාජිත ක්‍රිකට් කණ්ඩායමට ඔලුව උස්සන්න පුලුවන් විශාල කාර්ය භාරයක් කෝප් කමිටුව තුළ තිබෙන බවත් කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතාට ලැජ්ජාවක් තිබෙනවානම් කෝප් කමිටුවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙසත් හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා පැවැසීය.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ වංචා පිළිබඳ හෙළි කරන්න ක්‍රීඩා ඇමැතිවරයාට සහයෝගය ලබාදුන්නේ විපක්ෂ නායකවරයා බවත් ක්‍රිකට් වෙනුවෙන් කතාකරන රණසිංහට තිබෙන එකම සරණ විපක්ෂ නායකවරයා සහ විපක්ෂය පමණක් බවත් පාදුක්ක මහතා කීය.

නිරෝෂන් පාදුක්ක මහතා මේ බව සඳහන් කළේ ඊයේ (16) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිරෝෂන් පාදුක්ක මහතා මෙසේ පැවැසීය.

‘‘කෝප් කමිටුවේ සභාපති රංජිත් බණ්ඩාර අවුරුදු 5 කට පෙර ක්‍රිකට් පාලක මණ්ඩලයේ කුණ්ඩසාල ක්‍රිකට් විශ්ව විද්‍යාලයේ ඉදිකිරීමේ ව්‍යාපෘතියේ උපදේශික. ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මුදල් ගත්ත පුද්ගලයෙක්. ඒ් අනුව කෝප් කමිටුවට ක්‍රිකට් පාලක මණ්ඩලය කැදවපු අවස්ථාවේ ඔහුට යුතුකමක් තිබෙනවා කෝප් කමිටුවට සහභාගි නොවී සිටින්න.
ප්‍රේමනාත් සී දොලවත්ත ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති. ඒ්ක ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ ආයතනයක්. ප්‍රේමනාත් සී දොලවත්ත කෝප් කමිටුවට ගිහින් ප්‍රශ්න කරන එක සාධාරණද.
රටේ විපක්ෂ නායකටවත් කෝප් කමිටුවට යන්න දුන්නේ නෑ. නමුත් කෝප් කමිටුවේ සභාපතිගේ පුතාට කෝප් කමිටුවට සහභාගි වෙන්න් අවස්ථාව දීලා.
මේ තත්ත්ය කෝප් කමිටු තුළ තියෙද්දි කොහොමද ක්‍රිකට් පාලක මණ්ඩලයේ වංචා දූෂණ හොයන්නේ.

ක්‍රිකට් පාලක මණ්ඩලය හිතාගෙන ඉන්නවා ක්‍රිකට් පාලක මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අයිති නැති ආයතනයක් කියලා. ක්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරියේ ජනාධිපති, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, නීතිපති, කෝප් කමිටුව ඇඹරෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලය දන්නාවා අල්ලන්න ඕන කවුද කියලා.

ලංකාවේ අද ක්‍රිකට් සූදුවක් බවට පත්වෙලා තිබෙන්නේ.

කෝප් කමිටුවේ ඉන්න ප්‍රේමනාත් සී දොලවත්තට , රංජිත් බණ්ඩාරට කිසිදු අයිතියක් නෑ . මොවුන් දෙදෙනා ඉල්ලා අස්විය යුතුයි. නීතිපතිවරයාටත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දුෂණ ගැන වාර්තාව යවලා තිබෙනවා. රටේ පවතින නීතිය අනුව නීතිපති දෙපාර්ලමේන්තුව ක්‍රියාත්මක විය යුතුයි. කෝප් කමිටුව පිළිබඳ තිබුණ විනිවිද භාවය ගැන දැන් ජනතාවට ගැටලුවක් වෙලා. පරාජිත ක්‍රිකට් කණ්ඩායමට ඔලුව උස්සන්න පුලුවන් ලොකු කාර්ය භාරයක් කෝප් කමිටුව තුළ තිබෙනවා. ඒක මහහරින්න උත්සහ කරන්න එපා. රංජිත් බණ්ඩාරට ලැජ්ජාවක් තිබෙනවානම් කෝප් කමිටුවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙන්න.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ වංචා ගැන එළි කරන්න ක්‍රීඩා ඇමැතිවරයාට සහයෝගය දුන්නේ විපක්ෂ නායකවරයා. ක්‍රිකට් වෙනුවෙන් කතාකරන රණසිංහට තිබෙන එකම සරණ විපක්ෂ නායකවරයා සහ විපක්ෂය විතරයි.

2015 දී රනිල් වික්‍රමසිංහ කෝප් කමිටුවේ සභාපතිධූරය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණට. කෝප් කමිටු සභාපති ධූරය ආචාරය හර්ෂ ද සිල්වාට දෙන්න ගියාම රනිල් වික්‍රමසිංහ ඒක නැවැත්තුවා. ආණ්ඩුවත් ඒකට විරුද්ධ වුණා.‘‘