කොළඹ දිස්ත්‍රික්කයේ පැල්පත් වාසී, අඩුආදායම් ලාභී නිවාස, මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රම සියල්ල ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් ඉවත් කර ඇති බවත් එය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ වන නව ව්‍යාපෘතිවලට ලබා දිය යුතු යැයි ජනාධිපතිවරයා ප්‍රසිද්ධ රැස්වීමක් ප්‍රකාශ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කොළඹ සහ බස්නාහිර පළාත් තුළ කිසිදු සංවර්ධනයක් නොවූ රජය සතු ඉඩම් රැසක් පවතින බවත් එම ඉඩම් විනිවිදභාවයෙන් යුක්තව පෞද්ගලික සහ රාජ්‍ය හවුල්කාරීත්වය යටතේ සංවර්ධනය කල යුතු වුවත් වත්මන් රජය උත්සාහ කරන්නේ පැල්පත් නිවාස, අඩු ආදායම් ලාභී නිවාස සහ මධ්‍ය පාන්තික නිවාස ඉවත් කිරීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (7) විපක්ෂයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේ එය අමතමිනි.

සාමාන්‍ය දුප්පත් ජනතාව සිටින ඉඩම් විවිධ ව්‍යාපෘති සඳහා යොදා ගන්නවා වෙනුවට රජය සතු ඉඩම් විශාල ප්‍රමාණයක් ඇති හෙයින් එම ඉඩම් යොදා ගන්නා ලෙසත් සමහර රාජ්‍ය ආයතන සතු ඉඩම් මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් භාවිතයකින් තොරව අතහැර දමා ඇති හෙයින් එම ඉඩම් මෙම ව්‍යාපෘති සඳහා භාවිත කරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ මෙන්ම පසුගිය මැතිවරණවල මනාප ලක්ෂ 5කටත් වැඩි ප්‍රමාණයක් ලබා ගත් වත්මන් ජනාධිපතිවරයා විසින් කොළඹ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාව මෙන්ම මධ්‍යම පාන්තික ජනතාව කොළඹින් එලවා දැමීමට උත්සාහ කිරීමම බරපතල ගැටලුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.