ආර්ථික අවපාතය යනු කුමක්ද?

සාමාන්‍ය කාලවලදී රටක ආර්ථිකය වර්ධනය වීමක් සිදු වේ.

රටක පුරවැසියන් සාමාන්‍යයෙන් නිපදවන භාණ්ඩ හා සේවාවල වටිනාකම වැඩි වන විට තරමට එම රට ධනවත් වේ.

නමුත් සමහර අවස්ථාවල නිපදවන භාණ්ඩ හා සේවාවල වටිනාකම පහත වැටීමක් දැකගත හැකිය.

ආර්ථික අවපාතයක් යැයි සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙන්නේ එම තත්වය මාස තුනක කාලයක් හෝ කාර්තු දෙකක කාලයක් තුළ එක දිගට සිදුවන විට ය.

ආර්ථික අවපාතය දීර්ඝ කාලයක් තිස්සේ පැවතුනහොත් එය බරපතල තත්වයක් දක්වා වර්ධනය වේ.

ආර්ථික අවපාතයක් තිබේ නම් එය දැනගැනීම වැදගත් වන්නේ ඇයි?

බොහෝ දෙනාට ආර්ථික වර්ධනය යනු යහපත් දෙයකි.

එයින් අදහස් වන්නේ වැඩි රැකියා අවස්ථා විවෘත වී ඇති බවය. මෙම තත්වය යටතේ සමාගම් වඩාත් ලාභදායී වන අතර සේවකයින්ට සහ කොටස් හිමියන්ට වැඩි මුදලක් ගෙවිය හැකිය.

වර්ධනය වන ආර්ථිකයක් යටතේ රජයට වැඩි බදු මුදලක් ලැබේ. එබැවින් බදු කපා හැරීම, ප්‍රතිලාභ ලබා දීමට මෙන්ම රාජ්‍ය සේවා සහ රජයේ සේවකයින්ගේ වැටුප් සඳහා වැඩි මුදලක් වැය කිරීමට රජයට හැකියාව ලැබේ.

ආර්ථිකය කඩා වැටීමකට ලක් වන විට මේ සියල්ල ආපස්සට යන තත්වයක් දැකිය හැකිය.

ලොව පුරා දැඩි ආර්ථික අවපාතයක්

දශක ගණනාවකට පසු මෙම වසරේ දී ලොව පුරා රටවල ආර්ථිකය වේගයෙන් පසුබෑමකට ලක් වී ඇත. ගෝලීය ආර්ථිකය මෙම වසරේදී 3% කින් පසුබෑමකට ලක් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.

1930 වර්ෂවල සිදු වූ දැඩි ආර්ථික අවපාතයෙන් පසු ඇති වූ දරුණුතම අවස්ථාව මෙය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විග්‍රහය වේ.

කොරෝනාවෛරස වසංගතය ලෝකය “වෙන කවරදාකටත් වඩා අර්බුදයකට” ඇද දමා ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

දීර්ඝකාලීන වසංගත තත්වයත් සමග අර්බුදය පාලනය කිරීමට රජයන් සහ මහ බැංකුවලට ඇති හැකියාව පරීක්ෂා කර බැලෙනු ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

ඉදිරි දෙවසර තුළ මෙම අර්බුදය හේතුවෙන් ගෝලීය දළ දේශීය නිෂ්පාදනයෙන් ඩොලර් ට්‍රිලියන 9ක් අහිමි විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ප්‍රධානී ආර්ථික විද්‍යාඥ ගීතා ගෝපිනාත් පැවසුවාය.

‘දැඩි සීමා කිරීම්’

එක්සත් රාජධානිය, ජර්මනිය, ජපානය සහ එක්සත් ජනපදය වැනි රටවල “වේගවත් හා සැලකිය යුතු” ප්‍රතිචාරය පැසසුමට ලක් කරන අතරම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියේ කිසිදු රටක් මෙම ආර්ථික පසුබෑමෙන් ගැලවෙන්නේ නොමැති බවය.

2020 දෙවන භාගයේදී වසංගතය අවප්‍රමාණ වුවහොත් ගෝලීය ආර්ථික වර්ධන වේගය ලබන වසර වන විට 5.8% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“මේ කම්පනයේ කාලසීමාව සහ තීව්‍රතාවය පිළිබඳ දැඩි අවිනිශ්චිතතාව, සීමා කිරීම් හමුවේ ප්‍රතිපත්ති සම්පාදකයින් භයානක යථාර්ථයකට මුහුණ දෙමින් සිටිනවා,” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ප්‍රධාන ආර්ථික විද්‍යාඥවරිය, ගීතා ගෝපිනාත් පැවසුවාය.