එන්නත් ලබා දිය යුතු බවට හදුනා ගත් වයස් ඛාණ්ඩයට අයත් ජනගහනයෙන් වැඩිම ප‍්‍රතිශතයකට එන්නත් මාත‍්‍රා දෙකම ලබා දුන් රටවල් අතරින් ලංකාව 04 වන ස්ථානයේ පසුවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ ජනවාරි මාසයේ 02 වන දා ය.

ඒ අනුව, අමාත්‍යවරයා සදහන් කර තිබෙන දත්ත සංඛ්‍යා ජනවාරි මාසයේ 01 වන දා වන විට පැවතිය යුතු තත්ත්වය යැයි නිශ්චය කළ හැකිය.

අමාත්‍යවරයාගේ ප‍්‍රකාශයෙන් හැගී යන්නේ – ලෝකයේ රටවල් 194 ක් අතරින් සාර්ථකව එන්නත්කරණය සිදුකර තිබෙන මුල් රටවල් හතරට ලංකාව අයත් බවයි.

මේ පිළිබදව ෆැක්ට් චෙක් ආයතනය විමර්ෂණය කර තිබෙන අතර, ඔවුන්ගේ අවසන් නිගමනය වී ඇත්තේ අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය අසත්‍යයක් බවයි.

මුළු ජනගහනයෙන් වැඩිම ප‍්‍රතිශතයක් එන්නත්කරණය රටවල් අතර ලංකාවට හිමිවන ඇත්තේ 57 වන ස්ථානයෙන්.

ලංකාව මුළු ජනගහනයෙන් 64.41% ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබේ.
පළමු තැන සිටින්නේ බෘනායි රාජ්‍යයයි. එහි සමස්ත ජනගහනයෙන් 90.75% ක ප‍්‍රතිශතයක් පූර්ණ එන්නත්කරණයට ලක් වී සිටියි.

වයස අවුරුදු 16 ට වැඩි ජනගහනයෙන් වැඩිම ප‍්‍රතිශතයක් එන්නත් කරණය සිදුකර තිබෙන රට වන්නේද බෲනායි රාජ්‍යයයි. එහි ප‍්‍රතිශතය 116.83% කි.

එහි දී ලංකාවට හිමි ස්ථානය වන්නේ 46 වන ස්ථානයයි. ලංකාව, වයස අවුරුදු 16 ට වැඩි ජනගහනයෙන් 84.40% ක ප‍්‍රතිශතයක් එන්නත්කරණයට ලක් කර තිබේ.