කාන්තාවන්ට නින්දාසහගත ලෙස කරනු ලබන ප්‍රකාශ, ප්‍රවෘත්ති ලෙස පළ නොකරන සේ දන්වමින් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලට ලබාදෙන ලද ලිපිය සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක, ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය සහ නිරෝෂා අතුකෝරළ මැතිණිය විසින් සියළු මාධ්‍ය වෙත 2022.02.21 වන දින භාරදෙන ලදි.

balavegaya FB IMG 1645441568238
balavegaya FB IMG 1645442793023

එම ලිපියේ සදහන් වන්නේ මෙසේය ,

කාන්තා හිංසනයට නියමින් සහ අනියමින් මැදිහත් වන දේශපාලනඥයන්ගේ ප්‍රකාශවලට ඉඩ නොදෙමු!

මෙරට සිව්වැනි ආණ්ඩුව ලෙස ජනමාධ්‍ය වෙතින් ඉටු කරනු ලබන උදාරතර කාර්යභාරය පිළිබඳව සමගි වනිතා බලවේගය ලෙස අපගේ ප්‍රණාමය පළමුව ඔබට පුද කරමු.

ශිෂ්ට සම්පන්න සහ සදාචාරවත් මාධ්‍ය සම්ප්‍රදායක් වෙනුවෙන් ස්වකීය හෘදසාක්ෂිය ට එකඟව කටයුතු කරන සියලුම මාධ්‍යවලට සහ මාධ්‍යවේදීන්ට අපගේ උත්තමාචාරය පුද කර සිටිමු.

කෙසේ වෙතත්, විවිධ අවස්ථාවලදී එකී ශිෂ්ටසම්පන්න බව සහ සදාචාරාත්මක සීමාවන් ඉක්මවා යමින් යම් යම් මාධ්‍ය ආයතන විසින් ගුවන් කාලයන් සහ පාඨක රුචි අරුචිකම් අවභාවිතා කළ අවස්ථා මෙන්ම අවභාවිතා කිරීමට උත්සාහ කළ අවස්ථාවන් ද දැකගත හැකි බව ඔබ ද විශ්වාස කරනවා ඇතැයි අපි හඟිමු.

විශේෂයෙන්ම, ඇතැම් දේශපාලනඥයන් විසින්  මිනිසුන්ගේ පුද්ගලික ජීවිත හාරා අවුස්සමින් ද , කාන්තාවන්ට අශෝභන ලෙස නිග්‍රහ කරමින් ද කරනු ලැබූ ප්‍රකාශ උදෙසා ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන ලෙස ඇතැම් මාධ්‍යවලින් ඉඩකඩ ලබා දුන් අවස්ථා අපට දැකගත හැකි විය.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ශිෂ්ටසම්පන්න ප්‍රගමනය උදෙසා ඔබ විසින් කරනු ලබන අති මහත් වූ මෙහෙවර පිළිබඳව හෘදයාංගම කෘතවේදීත්වය අප තුළ ඇතිවාක් මෙන්ම ඊට අනුගතව සියලු ජනමාධ්‍ය ආයතන වෙතින් කාරුණික ආයාචනයක් ද අප විසින් සිදු කරමු.

විශේෂයෙන්ම කාන්තාවන් සහ දරුවන් ඉලක්ක කොට ගෙන සිදු කරනු ලබන අපහාස උපහාස සහ පදනම් විරහිත ප්‍රකාශ උදෙසාත්,එවැනි ප්‍රකාශ සිදු කරනු ලබන අසහනකාරී දේශපාලනඥයන් උදෙසාත් ඔබේ වටිනා ගුවන් කාලය සහ මුද්‍රිත මාධ්‍යයන්හි ඉඩකඩ ලබා දීම නොකළ යුත්තක් ලෙස අතිශය ගෞරවයෙන් යුක්ත ව අප සිහිපත් කිරීමට කැමැත්තෙමු.

ලෝකය පවතින්නේ මවගේ කිරිවලින් සහ හිරුගේ රශ්මියෙන් යැයි කියනු ලබන ප්‍රකාශය මේ මොහොතේ යලිත් උපුටා දක්වන අතර සකලවිධ කාන්තාවන් ද උදාරතර මාතෘත්වය ද  නියෝජනය කරමින් ඔබගෙන් අතිශය ගෞරවණීය ලෙස ඉහත ඉල්ලීම සිදු කරමු.

ශිෂ්ටසම්පන්න, ආචාරශීලී සහ ගෞරවනීය මාධ්‍ය සම්ප්‍රදායක් උදෙසා ඔබේ හෘදයාංගම මැදිහත්වීමට අපේ ප්‍රණාමය යළි යළිත් පුද කරමු.

ස්තුතියි.
සමගි වනිතා බලවේගය