ක්‍රිකට් සඳහා අන්තර්වාර කමිටුවක් ඇති කරන්නේ නම් එය කැබිනට් අනුමැතිය සහිතව සිදුවිය යුතු බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනය කළත් එය රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කිරීමක් බවත් රටේ නීතිය අනුව එම අන්තර්වාර කමිටුව ඇති කිරීමේ හැකියාව ක්‍රීඩා ඇමතිවරයාගෙ වගකීමක් බවත් රටේ විධායකයට හෝ ජනාධිපති මාධ්‍ය ඒකකයට රටේ අනපනත් උල්ලංඝනය කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (15) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේම අපේ රටේ ක්‍රිකට් තහනම් කරන්න කියා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියට ගියේ කවුද කියා සොයා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ලක්ෂ 220ටම ද්‍රෝහී වූ ක්‍රියාවක් බැවින් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම ඊයේ ක්‍රිකට් සම්බන්ධයෙන් පැවැති කෝප් කමිටුවේදී එහි සභාපතිවරයා නියමයෙන් හෝ අනියමයෙන් සාක්ෂිකරැවන්ගේ උත්තර හසුරවන සහ උත්තරවලට බලපෑම් සිදු කර ඇති බවට වීඩියෝ දර්ශන ඇති බවත් එය බරපතල කරුණක් බැවින් මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්විය යුතු බවත් කෝප් කමිටුවේ සභාපතිවරයාගේ ඒ නොමනා හැසිරීම එම කමිටුවේ සිටි සෙසු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරිමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.