රටට අවශ්‍ය වන්නේ මර්දනය නොවන බවත් අවශ්‍යව ඇත්තේ සංවර්ධනය බවත් පැවසූ විපක්ෂ නායකතුමා,ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ මර්දනය යැයිද පැවසීය.

කයිවාරුවෙන් රට ගොඩනැඟිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා, කළ යුත්තේ සැබෑවටම සේවය කිරීම බවත් පැවසීය. ජනතාවට තියෙන්නේ ජීවත් වීම පිළිබඳ සටනක් බවත්,ආණ්ඩුවට තියෙන්නේ බලය රැක ගැනීම පිළිබඳ සටනක් බවත් ඒ මහතා පැවසීය.

දෙමව්පියන්ට තියෙන්නෙ තමන්ගෙ දරුවට හරිහමන් කෑම වේලක් දී අධ්‍යාපනයක් ලබාදීම පිළිබඳ සටනක් බව කී විපක්ෂ නායකතුමා එහෙත්, ආණ්ඩුවට තියෙන්නේ ඇමතිවරු ටික පත්කිරීම ගැන සටනක් යැයිද කීය.

මේ රටේ තරුණ පරම්පරාවට තියෙන්නෙ රස්සාවක් කරලා ඔලුව උස්සා ගැනීමේ සටනක යෙදෙද්දී ආණ්ඩුව තරුණයින් මර්දනය කරන බවත් මේ රටේ දූ දරුවන් ලස්සන රටක් නිර්මාණය කිරීම උදෙසා සිහින දකිද්දී ආණ්ඩුවට තියෙන්නේ ඩීල් එකක් දාලා කීයක් හරි හම්බ කර ගැනීමේ සටනක් බවද විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජන බලවේගයෙන් හුස්මක් 53 වන අදියර ලෙස රුපියල් 550,000ක් වටිනා දන්ත ශල්‍ය වෛද්‍ය උපකරණ මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයට පරිත්‍යාග කිරිමේ අවස්ථාව අද(19) යෙදී තිබුණි.ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහන් 53ක් තුළ රුපියල් 160,266,900ක රෝහල් උපකරණ සහ ඖෂධ පරිත්‍යාග කොට තිබේ.

රට වැටී ඇති අගාධයෙන්  ගොඩ ගැනීමට රජයට අවශ්‍ය ඕනෑම මොහොතක තනතුරු තාන්නමාන්න වලින් තොරව සහය ලබාදීමට සුදානම් බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ වෙනුවෙන් ආණ්ඩුවට අවංක උවමනාවක් තිබිය යුතු යැයි ද පැවසීය.

හුස්ම වැඩසටහන සමගි ජන බලවේගය විසින් ආරම්භ කළේ කොරෝනා ව්‍යසනයෙන් රට බරපතළ පීඩාවකට ලක්ව සිටි මොහොතක මේ රටේ සුවහසක් ජනතාවට සහනයක් සැලසීම අරමුණු කරගෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, අද එය අති සාර්ථක වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන බවද පැවසීය.