අලුතින් හඳුන්වා දුන් ක්‍රීඩා කිහිපයක්ම, මේ වසරේ ඔලිම්පික් උළෙලට ඇතුලත් විය.
2008 බීජිං ඔලිම්පික් උළෙලට ඇතුලත් වුණු බේස්බෝල් ක්‍රීඩාව මේ වසරේදීත් ඊට ඇතුලත්ව තිබේ.
ඔලිම්පික් උළෙලට අලුතින් ක්‍රීඩා එකතු වෙද්දී ඇතැම් ක්‍රීඩා ඉන් ඉවත් වෙති.
2024 වසරේදී පැරීසියේ පැවැත්වීමට නියමිත මීළඟ ඔලිම්පික් උළෙලට ‘බ්‍රේක් ඩාන්සින්’ ඇතුලත් වනු ඇතැයි වාර්තා විය.
තවත් සමහරකුගේ ඉල්ලීම වී ඇත්තේ ‘චියර් ලීඩින්’, ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස පිළිගත යුතු බවකි.
ඇතැම් විට නුදුරේදී එය ඔලිම්පික් උළෙලට ඇතුලත් විය හැක.
බේස්බෝල්, ‘චියර් ලීඩින්’ (Cheer leading) හෝ ‘ස්කේට් බෝර්ඩින් (Skate-boarding) සහ සර්ෆින් (Surfing) වැනි ක්‍රීඩා ලොව සෑම රටකම දැකිය නොහැක.
එවැනි බොහොමයක් ක්‍රීඩාවන්ට පැහැදිලි ඇමරිකානු සම්භවයක් ඇත.
අතලොස්සක් රටවල පමණක් දක්නට ඇති එම ක්‍රීඩා ඔලිම්පික් උළෙලට ඇතුලත් වෙද්දී, මේ මහා ක්‍රීඩා සැණකෙළියට ක්‍රිකට් ඇතුලත් නොවුණේ මන්දැයි ඔබට සිතිය හැක.
ශ්‍රී ලංකාවට නොදෙවෙනිව ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් කර ගත් ඉන්දියානුවෝ දහස් ගණනක් එකී ප්‍රශ්නය ‘ගූගල්’ වෙතින් අසා ඇත.
ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට ඇතුලත් කළ යුතු බව නොව, එය කෙදිනක හෝ ඊට ඇතුලත් වුණි දැයි යන්න මේ ලිපිය මගින් සොයා බැලෙයි.