එක්සත් ජනපදයේ මෙරට තානාපතිනි ජුලී චන්ග් මහත්මිය මෑතකදී මෙරට සම්මත කරන ලද ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ දැඩි කණස්සල්ල පළ කර තිබේ ඒ දෝෂ සහිත ක්‍රියාවලිය, අභිප්‍රාය සහ භාෂණයේ නිදහසට ඇති විය හැකි බලපෑම යන අංශ තුන පිළිබඳ අවධානය යොමුකරමින්.

බොහෝ දෙනා එහි “ගැඹුරු දෝෂ සහිත” බවක් දකින බව පවසන ඇය පනත කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියේදී ඊට අදාළ පාර්ශ්වකරුවන්ගේ සම්බන්ධවීමක් නොමැතිකම පිළිබඳව ද අවධාරණය කළාය.

පනත් කෙටුම්පතේ භාවිත කර ඇති පුළුල් අර්ථ දැක්වීම් ඔස්සේ කාමුක දර්ශන මගින් කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි අන්තර්ජාල ප්‍රහාර වැනි හානිවලට එරෙහිව සටන් කිරීමට අදහස් කරන නමුත් නීත්‍යනුකූල ප්‍රකාශනය සීමා කිරීම සඳහා එය අනිසි ලෙස භාවිත කළ හැකි වීම පිළිබඳ ඇය කණස්සල්ල පළ කළාය.

පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද තානාපති ජුලී චන්ග්ගේ අවධානය යොමුව තිබේ.

පනත සංශෝධනය සඳහා ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුර පනතින් ඇති කළ හැකි බලපෑම පිළිබඳ අන්තර්ජාලයේ කතිකාවට සැබවින්ම විසඳුම් ලැබෙන්නේදැයි ඇය ප්‍රශ්න කරයි.

“මෙය එක්සත් ජනපදයේ හෝ අන්තර්ජාතික ප්‍රජාවේ හඬ පමණක් නොවේ. අපගේ හඬට වඩා වැදගත් වන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන්, තාක්ෂණික විශේෂඥයන්, සිවිල් සමාජය, නීතිඥ කණ්ඩායම්, පෞද්ගලික අංශයේ කණ්ඩායම් සහ සංගම්, මාධ්‍යවේදීන්ගේ කණ්ඩායම් මෙම පනත සම්බන්ධයෙන් සිය කණස්සල්ල මතු කර තිබීමයි,” තානාපති චුන්ග් අවධාරණය කළාය.

ඇය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ අන්තර්ජාතික ප්‍රජාවගේ පමණක් නොව තමන්ගේම පුරවැසියන්ගේ අවශ්‍යතාවලට සවන් දීමට ප්‍රමුඛත්වය දෙන ලෙසයි.