ඉවත් කළ කෘෂිකර්ම ලේකම්ගේ අනුමැතියෙන් සිදුකළ ගණුදෙනු ගැන පරීක්ෂණයක් අවශ්‍යයි

නැනෝ යූරියා, චීන අශුචි නැවේ මහා විනාශයන් ‘ජාතික අපරාධ‘

තනතුරෙන් ඉවත් කළ කෘෂිකර්ම ලේකම් උදිත් කේ ජයසිංහ සිය ධූර කාලය තුල සිදු කළ ‘ජාතික අපරාධ‘ ගණයේ ගණු දෙනු පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුය.  රටට දැවැන්ත පාඩුවක් සිදු කර, මහා පරිපාලන දුෂණයකට මඟ සැලසීමෙන් පසුව තනතුරෙන් ඉවත් කිරීමෙන් රාජ්‍ය නිලධාරියෙකු ලෙස ඔහු කළ මුල්‍ය අපරාධ වසා දැමිය නොහැකි යැයි 

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

උදිත් ජයසිංහ කෘෂිකර්ම ලේකම් තමන්ගේ සියළු පව් සෝදා ගන්න ප්‍රකාශ කරමින් සිටිනවා.  කාබනික වගා සංකල්පයෙන් සමාගම්වලට සල්ලි හොයන ව්‍යාපෘතිය නිසා තමයි ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශයට ආවේ.  ඔහු සමාගම් ඒජන්තයෙක්.  හිටපු කෘෂිකර්ම ලේකම් පුෂ්පකුමාර ඉවත් කරලා ඔහු නැනෝ යූරියා – චීන අශුචි කියන ජාතික අපරාධ දෙක සිදු කළා.  අතුරලියේ රතන හාමුදුරුවන්ටයි, වෛද්‍ය අනුරුද්ධ පාදෙණියටයි ඇණුම්පද කිව්වාට මෙයා තමයි කාබනික පොහොර ආනයන සමාගම් වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන චරිතය.

කෘෂි රසායන ආයනය තහනම ඉවත් කරලා දැනට මාසයක් ගත වෙලා. තවම එකම කෘෂි රසායනයක් ගෙන්නුවේ නැත්තේ මේ ලේකම් නිසයි.  වල් නාශක ටෙන්ඩරය හිතවත් සමාගමට දෙන්න ඔහු පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් අනිවාර්ය නිවාඩු යවලා දැවැන්ත අර්බුදයක් නිර්මාණය කළා.  වැඩ බලන රෙජිස්ට්‍රාර් කෙනෙක් පත් කරලා කෘෂි රසායන ආනයනට අනුමැතිය දෙන්නේ නැතුව ෆයිල් ටික මේසේ උඩ තියාගෙන ඉන්නවා. 

ඇස් දෙකක දැකපු නැති චීන අශුචි කන්දට ඩොලර් ලක්ෂ 67 ක්, (රුපියල් බිලියන 1.34) ක් ගෙවීම,  ඉන්දියාවෙන් නැනෝ යූරියා 400% ක් වැඩි පුර ගෙවලා ගෙන්වීම ගැන විමර්ශන තියන්න අවශ්‍යයි.  ඒ විතරයක් නෙවෙයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිදුවන මහා පරිමාණ ගණුදෙනු, ටෙන්ඩර් නැතුව බඩු ආනයනය කිරිම ගැන විමර්ශනය කළ යුතුයි. 

ආණ්ඩුව සංගීත පුටු තරඟයක් වගේ මාස 25 ට කෘෂිකර්ම ලේකම්වරු පහක් පත් කරලා හොරකම් වහ ගන්න හදනවා. 

අමාත්‍යාංශ ලේකම් ගේ කටයුතු ගැන විමර්ශනය කිරිම විගණනාධිපති ගේ වගකීමක්.  මේ ගණුදෙනු ගැන විධිමත් විමර්ශනයක් කළොත් හිටපු විදුලිබල ලේකම්ලාගේ ගෙවල් ඕස්ට්‍රෙිලියාවෙන් මතු වෙනවා වගේ ඇඳහිය නොහැකි වික්‍රම සිදු වෙන්න පුළුවන්.