පසුගියදා දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ පුද්ගලයින් කිහිපදෙනෙක් අපරාධ චෝධනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබෙනවා. ඒ උද්ඝෝෂණය කිරීම මහජනතාවගේ පූජනීය අයිතියක් බවත්, පොලිසිය ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් අධිකරණයෙන් පවසමින්

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන්ට අවවාද කරමින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මෙම නියෝගය ලබා දී තිබෙන බවයි සදහන් වන්නේ.

මෙලෙස මුදාහරින ලද්දේ ජන අරගල වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී සාමාජිකයන් දෙදෙනකු වන ධම්මික නයන කුමාර සහ මේනක වික්‍රමානයක යන දෙදෙනෙක්.

ගාල්ල මහ නගර සභාවේ රැකියාව ස්ථිර කර දෙන ලෙස ඉල්ලා එම පිරිස පසුගියදා (23) උද්ඝෝෂණයක නිරත වූ අතර එම උද්ඝෝෂණයට පොලිසිය පහර දී විසුරුවා හැරීමට කටයුතු කළා.

ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් එදින ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ නීති විරෝධී රැස්වීම, අයුතු ජන රාශියක සාමාජිකයන් වීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තුවාල සිදුකිරීම, සාපරාධී බලහත්කාරය, අයතු ඇතුළුවීම, අනර්ථය යන චෝදනා රැසක් යටතේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (24) ඉදිරිපත් කර තිබුණා.

එහිදී තුවාල සිදු වූ පොලිස් නිලධාරීන්ට සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමුකරන ලෙසත්, පරීක්ෂණ අවසන්ව නොමැති බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම සැකකරුවන් සාමකාමී උද්ඝෝෂණයක් සිදුකිරීමේ දී ඔවුන්ට පොලිසිය විසින් දැඩි ලෙස පහර දී අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර ඇති බවත්, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් පැවති උද්ඝෝෂණයක් වුවත් පොලිසිය එම අයිතිවාසිකම් නොතකා කටයුතු කර ඇති බවත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ පවසා තිබුණා.

සියලු කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා, උද්ඝෝෂණය කිරීම මහජනතාවගේ පූජනිය අයිතිවාසිකමක් බවත්, මහජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අධිකරණය සෑම විටම බැඳී සිටින බවත් කියා සිටියා.

ඒ අනුව ගාල්ල අධිකරණ කලාපය තුළ ඕනෑම සාමකාමී උද්ඝෝෂණයකට පොලිසිය විසින් පහර දීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නොකළ යුතු බවත්, මින් ඉදිරියට එවැනි සිදුවීම් වුවහොත්, අදාළ පොලිස් නිලධාරීන් සම්බන්ධව දැඩිව ක්‍රියාකරන බවටත්, අවවාද කරමින් සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් බැගින් මුදාහැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

සැකකරුවන් උද්ඝෝෂණය කළ බව පිළිගන්නා බැවින් හඳුනාගැනීමේ පෙරට්ටුව ද අවලංංගු කළ බව ද සඳහන්.

මහජනතාව‍ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට පාලකයන්ට හෝ පොලිසියට හැකියාවක් නොමැති බව පැවසු ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මහජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අධිකරණ සෑම විටම කැපවී කටයුතු කරන බවද පවසා සිටියා.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ජෝතිරත්න කදිරහෙට්ටිආරච්චි, ප්‍රසිත වල්ගම, ගෝපිකා ලොකුගේ, අජිත් කුමාර, රජින්ද්‍ර නාරංගොඩ සහ පිනිපා ගොඩගේ පෙනී සිට තිබෙනවා.