“කුප්‍රකට සුදු ලූණු වංචාව යනු….”

වරායෙන් සතොසට ලැබිය යුතු සුදු ලූණු කිලෝ 56000 ක් සතොසෙන් හොර පාරේ පුද්ගලික ව්‍යාපාරිකයෙකුට කිලෝවක් රු.135 ක් වැනි මුදලකට විකුණා නැවත ඔහුගෙන් කිලෝවක් රු.450 ක් වැනි අධික මිලකට සතොසටම මිලට ගැනීම සුදු ලූණු වංචාව ලෙස ජනගත විය. මෙම මහා පරිමාණ වංචාව පිළිබඳ ආන්දෝලනාත්මක කරුනු රැසක් පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා මාධ්‍යට අනාවරණය කරන ලදී.

“යුරෝපා සංගමයේ විශේෂ නියෝජිත පිරිස මෙරට සංචාරයේ නිරතව සිටින අවාස්තාවක CID ය විසින් පුවත්පත් කාර්යාල වලට කඩාපැනීම…..”

මේ අතර යුරෝපා සංගමයේ විශේෂ නියෝජිත පිරිසක් පසුගිය සැප්තැම්බර් මස 27 දා මෙරට සංචාරයක් ඇරඹුවේ මෙරට මාධ්‍ය නිදහස, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍ය සහ ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත වැනි කාරනා පිළිබඳව සමාලෝචනය කර තවදුරටත් GSP+ සහනය ලාබාදීමට ශ්‍රී ලංකාව සුදුසුදැයි යන කාරණය නිගමනය කිරීම සඳහාය.

කෙසේ වෙතත් මෙලෙස යුරෝපා සංගමයේ විශේෂ නියෝජිත පිරිස මෙරට සංචාරයේ නිරතව ඇති අවාස්ථාවක ලංකාදීප ප්‍රධාන කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් වැටලීම සහ ලාංකාදීප පුවත්පතේ ප්‍රධාන කතෘ සිරි රණසිංහ මහතා, විනීතා ගමගේ, සුජිත් හේවාජූලිගේ සහ දිවයින ප්‍රධාන කතෘ වැනි ජේෂ්ඨ මධ්‍යවේදීන් CID යට කැඳවීමට නියෝග කිරීම, මෙරට මාධ්‍ය නිදහස බරපතල තර්ජනයකට ලක්ව ඇති බව යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසට සාක්ෂිත් සමග පෙන්වා දීමකි.

අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ මෙම මර්ධනකාරී හැසිරීම හේතුවෙන් GSP+ සහනය ලංකාවට අහිමි වුණොත් එහි සම්පූර්ණ වගකීම ආණ්ඩුව විසින් භාර ගත යුතුය.

“GSP+ අහිමි වුනොත් ඇඟලුම් ක්ෂේත්‍රයේ තරුණ තරුණියන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයකට රැකියා අහිමි වීමේ බරපතල අවධානමක්….”

භයානකම කරුණ නම් ආණ්ඩුවේ මෙම සුපුරුදු මර්ධනකාරී වැඩපිලිවෙල හේතුවෙන් GSP+ සහනය ලංකාවට අහිමි වුවහොත්, J R ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස වැනි හිටපු ජනාධිපතිවරුන්ගේ පාලන සමයේ ඇති කරන ලද කටුනායක, බියගම, කොග්ගල වැනි ආයෝජන ප්‍රවර්ධන කලාප වල ඇඟලුම් කර්මාන්තශාලාවන්හි සේවයේ නියුතු ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණයින්ගේ රැකියා අහිමිවීමේ බරපතල අවධානමකට ලක්ව ඇත. එය මෙරට ආර්ථිකයට මරු පහරකි.

“සුදු ලූනු වංචාව යට ගසන්න ආණ්ඩුව ජනතාවට සුදු ලූණු පොඩි කරමින් සිටියි….”

මේ වන විට රජය සුපුරුදු පරිදි සොරකම පසුපස හඹායනවා වෙනුවට සොරකම හෙලිකල පනිවිඩකරුවා පසුපස හාඹායන තත්වයක් දක්නට ලැබේ. පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන සහ මාධ්‍යවේදීන් පසුපස රාජ්‍ය යාන්ත්‍රණය හඹායෑම මීට කදිම නිදසුන්ය. රජය සුදු ලූණූ වංචාව යට ගැසීම සඳහා ජනතාවට සුදු ලූණූ පොඩි කරමින් සිටින අතර සුදු ලූණු වංචාවට චෝදනා ලද ඇමතිවරුන් බේරාගැනීම සඳහා කටයුතු කරමින් සිටින ආකාරයක් දිස්වෙයි.

මෙම වංචාවට, අදාල නම් සඳහන් ඇමතිවරුන්ගේ සම්බන්ධතාවක් නොමැති නම් රජය කලයුත්තේ මධ්‍යවේදීන් CID ය යොදවා ප්‍රශ්න කිරීම නොව වැරදිකරුවන් සොයා ගැනීම සඳහා ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂනයක් පැවැත්වීමයි. කෙසේ නමුත් සුපුරුදු පරිදි එය සිදුනොවනු ඇති බව මාගේ විශ්වාසයයි.

කණිෂ්ක ලැනරෝල් (KL)
ගාල්ල දිස්ත්‍රික් ලේකම්
(සමගි තරුණ බලවේගය)