පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලද තරුණ නියෝජනය පිළිබඳ පනත පසුගිය පළාත් පාලන මැතිවරණය කල් දැමීම සදහා ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ දොලවත්ත විසින් ඔහුගේ පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළින් ඉම්තියස් මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බව අද දින එතුමා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා අදහස් දක්වමින් කියා සිටියේ ඉම්තියාස් බාකීර් මාකර් මාකර් මැතිතුමා ඉදිරිපත් කළ පනත හුදෙක්ම ආණ්ඩු පක්ෂය විසින් පළාත්පාලන මැතිවරණය කල් දැමීම සඳහා ඉරිපත් කළ බවයි.

මෙම අවස්ථාවේදී අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ඉමිතියාස් බාකීර් මාකර් මැතිතුමා පාර්ලිමේන්තුවේ මෙන්ම ශ්‍රී ලංකා ලංකා වාසි ලංකාවාසී සියළු ජනතාවගේ ගෞරවාදරයට පත්ව ඇති මන්ත්‍රීවරයෙක් බවත් ආණ්ඩුවේ මෙම අමනෝඥ ක්‍රියාව හරහා එතුමාගේ ගෞරවයට කැළලක් ඇති වී තිබෙන බවත්ය.

ඉමිතියාස් මන්ත්‍රීවරයා මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබියදී ආණ්ඩුව මෙම පනත නැවත වතාවක් ඉදිරිපත් කිරීම හරහා තම වරප්‍රසාද කඩවීම පිළිබඳව එම මන්ත්‍රීවරයා සභාව අමතා කියා සිටියේ මෙවැනි අදහසක්,

ගරු කථානායකතුමණි,

වරප්‍රසාද කඩවීම පිළිබඳ වූ, මගේ මේ ප්‍රශ්නය මතුකිරීම සඳහා, මේ අවස්ථාව ලබාදීම ගැන, ඔබතුමන්ට ස්තූතිවන්ත වෙනවා.
මන්ත්‍රීවරයෙකු ලෙස මගේ කාර්යයභාරය ඉටුකිරීමේදී සිදුවී ඇති වෙනස්කම් පෑම, බාධා කිරීම, විරුද්ධකම් කිරීම මෙන්ම පාර්ලිමේන්තුව වෙනුවෙන් කාර්යභාරය ඉටුකරන පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ නියෝග පැහැර හැරීම වැනි කරුණු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට මෙන්ම පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද පිළිබඳ පනතේ වලංගුභාවය තද බල ලෙස උල්ලංඝනය කරන තත්වයක්.
මේ ගැන ඔබතුමන්ට හෝ මහලේකම්වරිය වෙත හෝ වෙනත් කිසිවෙකු වෙත ඇඟිල්ල දික් කිරීමට නොව, පාර්ලිමේන්තුවේ බලතල වලට මෙලෙස අභියෝග කිරීම, නොසලකා හැරීම, පාර්ලිමේන්තුවේ තිබිය යුතු අපක්ෂපාතී හැසිරීම ප්‍රශ්නකාරී  තත්වයකට පත්වීම වැනි තත්වයන් තවදුරටත්, මින් මතු ඇතිවීමට ඉඩ නොතැබිය යුතුය යන සද් චේතනාවෙන්, මේ වරප්‍රසාද කඩකිරීම පිළිබඳ කරුණ, ඔබතුමන්ගේ අවධානයට යොමු කළ යුතු යයී මම තීන්දු කළේ, සිදුව ඇති මේ ක්‍රියාදාමය ගැන බෙහෙවින් අධ්‍යයනය කිරීමෙන් සහ සිතාබැලීමෙන් අනතුරුවයි.
ගරු කථානායකතුමණි,
මා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් මුලින්ම ඉදිරිපත් කර ඇති මෙම යොවුන් නියෝජනත්වය පිළිබඳවූ පනත් කෙටුම්පත සම්බන්ධයෙන්, කටයුතු කර ඇති ආකාරය හේතුවෙන්, 1988 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රථම වරට පත්ව, දසක දෙකකට අධික කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මේ උත්තරීතර සභාවේ කටයුතු කරන මට, මන්ත්‍රීවරයෙකු ලෙස මගේ වගකීම් සහ කාර්යභාරය ඉටුකිරීමේදී චේතනාන්විතව ඊට බාධා කරමින්, හිරිහැර කරමින්, අපහාසාත්මක ලෙස ක්‍රියා කරමින්, මන්ත්‍රීවරයෙකු ලෙස හිමි වරප්‍රසාද දැඩි ලෙස උල්ලංඝනය කර තිබීම ගැන ඔබතුමන්ට මේ අයුරින් පැමිණිලි කරන්නට සිදුවන තත්වයක් උද්ගතව තිබීම, ඇත්තෙන්ම කණගාටුදායක තත්වයක්.
(Parliament Powers and Privileges Act) හෙවත් පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ උපලේඛනයෙහි “ආ” යන්න කොටසේ, 1,2 සහ 4 වන වගන්ති කෙරෙහි, ඔබතුමන්ගේ කාරුණික අවධානය යොමු කරන්නට මම කැමතියී.ඒ අනුව, මේ කාරණය, මන්ත්‍රී වරප්‍රසාද බරපතල ලෙස උල්ලංඝනය කිරීමකින් ඔබ්බට යන, පාර්ලිමේන්තුවේ අභිමානයට, අපක්ෂපාතීත්වයට, ස්වාධීනත්වයට ප්‍රශ්නාර්ථ සහ කැලැල් ඇති කරන තත්වයක්ද වෙනවා.
පාර්ලිමේන්තුව වෙනුවෙන්, ඔබතුමන් වෙනුවෙන්, ක්‍රියාකරන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ නියෝගයන්, ඉටු කිරීම දිගින් දිගට පැහැර හැරීම තුලින්, මෙහිදී සිදුකර ඇත්තේ, චේතනාන්විතව පාර්ලිමේන්තුවේ බලතල වලට අභියෝග කිරීමක් නොවන්නේද? හෑල්ලුකිරීමක් නොවන්නේද? යන්න කලු-සුදු මෙන් පැහැදිලිව දැකගන්නට හැකිව තිබෙනවා.
ගරු කථානායකතුමණි,
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව, පාර්ලිමේන්තු, පළාත් සභා සහ පලාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනත් සංශෝධනය කිරීම සඳහා, මා විසින් පෞද්ගලික පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට,  පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට, 2021 ජනවාරි මාසයේදී භාරදෙනු ලැබුවා.
මගේ මේ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත් තුනෙන් අපේක්ෂා කළේ, පලාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තු යන, මහජන නියෝජිතයන්ගෙන් සමන්විත, මේ වැදගත් කේන්ද්‍රීය ස්ථානවල, සාධාරණ තරුණ නියෝජනත්වයක් සහතික කරගැන්මයී.
මේ පනත් කෙටුම්පත් තුන ගැසට් කර, අනතුරුව පාර්ලිමේන්තුවට 2022 ජූලි 06 වන දින, පළමුවර ඉදිරිපත් කළ පසු, ඒ සඳහා අදාල අමාත්‍යාංශයේ, වාර්තාවක් ලබාගැන්මට කටයුතු කිරීම පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව සිදු කෙරෙන්නක්. ඒ  අනුව, එය අදාල අමාත්‍යාංශයට යොමු කළ ද, 2023 ජනවාරි පළමු දිනයතෙක්ම, ඒ පනත් කෙටුම්පත් සඳහා අදාල වාර්තාවන්, පාර්ලිමේන්තුවට එවීම සිදුවුණේ නැහැ.
අදාල පනත් කෙටුම්පත් සඳහා වාර්තාවන්, අදාල අමාත්‍යාංශයෙන් මාස හයක් ඇතුලත නොලැබුණහොත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (7) අනුව, අදාල මන්ත්‍රීවරයාගේ කැමත්ත පරිදි දෙවෙනිවර කියැවීම සඳහා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළ හැකිව තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු, පළාත් සභා සහ පලාත් පාලන ආයතනවල, තරුණ නියෝජනත්වය සඳහා වූ, මා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත්, න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලෙස, මා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් වෙත, 2023 ජූනි 06 දින  දාතම ලිපියෙන්, ලිඛිතව ඉල්ලා සිටියා. ඒ පිළිබඳව කිසිදු පියවරක් සිදුනොවීම හේතුවෙන්, මා විසින් යළිත් වරක්, 2023 සැප්තැම්බර් 22 දින දාතම ලිපියකින්, ඔබතුමන් අමතමින් ලිඛිතව එම ඉල්ලීම නැවතත් වරක් සිදුකළා. මේ ලිපි දෙකේම පිටපත්, හැන්සාඩ් ගතවීම සඳහා, මම දැන් ඔබතුමන්ගේ අවසරය පතමින්, එය ඔබතුමන් වෙත භාරදෙනවා.
මේ අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින්, මා ඉදිරිපත් කරන ලද පලාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත් කෙටුම්පතේ අරමුණ සඳහාම වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්, 2022 නොවැම්බර් මස 08 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවනවා. 2022 නොවැම්බර් මස 10 වන දින එය පාර්ලිමේන්තුව විසින්, විෂය භාර අමාත්‍යවරයාටද යොමුකර තිබෙනවා.
මා විසින්, පනත් කෙටුම්පත ඉදිරිපත් කර මාස ගණනකට පසු, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සම්බන්ධ වාර්තාව, මගේ පනත් කෙටුම්පත සමගින් සම්බන්ධ කර, එක් වාර්තාවක් වශයෙන්, අදාල විෂය භාර අමාත්‍යවරයා විසින්, 2023 ජනවාරි මස 05 වන දින, පාර්ලිමේන්තුවට පිලිගන්වනු ලදුව, එම වාර්තාව, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව විසින්, 2023 පෙබරවාරි මස 28 වන දින සළකා බැලීම සිදුවුණා. එසේ සලකා බැලීමෙන් අනතුරුව, නීති කෙටුම්පත් දෙකක් වන හෙයින්, වෙන් වෙන් වශයෙන් වාර්තා දෙකක් ඉදිරිපත් කරන ලෙස, කාරක සභාව විසින් අමාත්‍යාංශයට නියෝග කර තිබෙනවා.
මෙම යෝජිත කෙටුම්පත් දෙකේ වාර්තා පිළිබඳ, ප්‍රගතිය සමාලෝචනය කිරීම පිණිස, නැවතත් ව්‍යවස්ථාදායක කාරක සභාවේ රැස්වීමක් 2023 ජූනි මස 09 වන දින පැවැත්වූ අතර, පනත් කෙටුම්පත් දෙක සම්බන්ධව, වෙන් වෙන්ව වාර්තා ඉදිරිපත් කිරීමට, කලින් දෙන ලද නියෝග පිලිනොපැදීම නිසා, එදින, නැවතත්, විෂය භාර අමාත්‍යාංශයේ නිළධාරීන්ට, මෙම යෝජිත කෙටුම්පත් දෙක සම්බන්ධයෙන්, වාර්තා වෙන් වෙන්ව ඉදිරිපත් කරන ලෙස, නියෝග කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ව්‍යවසථාදායක කාරක සභාවේ නියෝග පිලිනොපැදීම, පැහැදිලිවම, පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පනත උල්ලංඝනය කිරීමක්.
කරුණු මෙසේ තිබියදී, මගේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එකී නියෝග පරිදි කටයුතු නොකොට, විෂය භාර අමාත්‍යාංශය විසින්, මගේ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් මාස හතරකට (04) පසුව, අමාත්‍යාංශ වාර්තාව ලබා ගැන්ම සඳහා ඉදිරිපත් කරන ලද, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයාගේ  පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පමණක්, අමාත්‍යාංශ වාර්තාවක් ව්‍යවස්ථාදායක සභාවට යොමුකරන ලදුව, එම වාර්තාව සම්බන්ධයෙන් පමණක් ඉදිරි කටයුතු කිරීමට දැන් තීරණය කර ඇති බව දැනගන්නට තිබෙනවා. මෙවැනි තත්වයක් උද්ගතවන්නේ නම්, එය කිසිවෙකු අනුමත කරන තත්වයක් වන්නේ නැහැ.
ස්ථාවර නියෝග 52 (7) අනුව, අමාත්‍යවරයා වෙතින් කැඳවන ලද වාර්තාවක්, එදින සිට මාස හයක් (06) තුල පාර්ලිමේන්තුව වෙත නොලැබුණි නම්, එම පනත් කෙටුම්පත භාර මන්ත්‍රීවරයා රිසි දිනයක, එය දෙවෙනිවර කියැවීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයෙහි ඇතුලත් කරනු ලැබිය යුතු වෙනවා. එහෙත් මේ සඳහා මා පාර්ලිමේන්තු මහ ලේකම් සහ ඔබතුමන් වෙතින් කළ ඉල්ලීම් පිළිබඳව පියවර ගැනීම් මෙතෙක් සිදුවී නැහැ. 
ඒ අනුව, මෙම කෙටුම්පත අදාල ගරු අමාත්‍යවරයාට ඉදිරිපත් කර, මාස (06) හයකට වඩා වැඩිමනත් කාලයක් ඉකුත්වී ඇති හෙයින්, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට, අනවශ්‍ය ප්‍රමාද කිරීම්වලින් තොරව ඇතුලත් කිරීමට, අවශ්‍ය කටයුතු කඩිනමින් සලසා දෙන ලෙස ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
මම කැමතියි, ගරු කථානායකතුමණි පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ උප ලේඛනයේ “ආ” කොටසේ  එක, දෙක සහ හතරවන උපවගන්ති කෙරෙහි ඔබතුමන්ගේ විශේෂ අවධානය යොමුකරගැන්ම උදෙසා ඒ වගන්ති දෙක කියවන්නට.
මට අවසර දෙන්න. මම දැන් එම වගන්ති කියවනවා.
පාර්ලිමේන්තුව විසින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් කළහැකි වැරදි.
පළවන වගන්තිය – 
මේ පනත යටතේ, පාර්ලිමේන්තුවේ යම් නියමයකට හෝ, යෝජනා සම්මතයකට නැතහොත්, මේ පනත යටතේ, විධිමත් ලෙස කරන ලද, සභාපතිවරයාගේ හෝ කථානායකවරයාගේ හෝ යම් මන්ත්‍රීවරයෙකුගේ, නියමයකට අවනත වීම සිතා මතා පැහැර හැරීම හෝ ප්‍රතික්ෂේප කිරීම.
දෙවන වගන්තිය –
පාර්ලිමේන්තුව විසින් හෝ තත්කාර්ය සඳහා විධිමත් ලෙස බලය දෙනු ලැබූ යම් කාරක සභාවක් විසින් පැමිණීම සඳහා හෝ ලියවිලි, පොත්, වාර්තා හෝ ලේඛන ඉදිරිපත් කිරීම සඳහා හෝ කරන ලද යම් නියමයකට පනතේ 13 වන වගන්තියෙන් හා 15 වන වගන්තියෙන් විධිවිධාන සැලැස්වෙන පරිදි පැමිණීමෙන් හෝ ඉදිරිපත් කිරීමෙන් නිදහස් කරනු ලැබුවහොත් මිස, සිතා මතා අවනත නොවීම.
හතරවන වගන්තිය – 
පාර්ලිමේන්තුව තුළ දී හෝ කාරක සභාව තුළ දී හෝ පාර්ලිමේන්තු භූමිය තුළ දී යම් මන්ත්‍රීවරයෙකුට පහර දීම, නින්දා කිරීම, හෝ සිතාමතා බාධා පැමිණවීම.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස, මගේ කටයුතු වලට, චේතනාන්විතව බාධා කිරීමක් සිදුවී තිබෙන බව, මා ඉදිරිපත්කළ කරුණු අනුව ඕනෑම කෙනෙකුට අවබෝධ කරගන්නට පුලුවන්.
කමිටුව වෙන් වෙන්ව වාර්තා ඉදිරිපත් කිරීමට දී ඇති නියෝග පිලිපැදීම පැහැර හැර තිබෙනවා. එය දෙවන වගන්තියට අනුව දඬුවම් කළ හැකි වරදක්. 
හතරවන වගන්තිය උලංලංඝනය කරමින්, මන්ත්‍රීවරයෙකු වශයෙන් මගේ වගකීම් සහ කාර්යයන් ඉටුකිරීමෙහිදී, ඊට චේතනාන්විතව බාධා පැමිණවීම්, හිරිහැර කිරීම් සහ ඒ තුලින් අවමානයට, නින්දාවට ලක් කිරීම සිදුකර තිබෙනවා.
එබැවින් ගරු කථානායකතුමණි,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අපේ වගකීම්, කාර්යයන් බාධාවන්ගෙන්, හිංසාවන්ගෙන් තොරව ඉටු කිරීමට, අවශ්‍ය වාතාවරණය ආරක්ෂා කරදීම ඔබතුමන්ගේ පරම වගකීමක්.
ඔබතුමන්ගේ කාලය නාස්ති කරන, අනවශ්‍ය ඉදිරිපත් කිරීමක් සිදු කරන්නට මට කිසිසේත් අවශ්‍ය නැහැ. මේ සිදුකර ඇති අසාධාරණය, මේ වරද, කලු-සුදු මෙන් ඉතා පැහැදිලි තත්වයක්.
පාර්ලිමේන්තුවේ අපක්ෂපාතීත්වයට, ගරුත්වයට ප්‍රශ්නාර්ථයක්, අවමානයක් සිදුනොවන අයුරින්,  පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවීම ඉතාවැදගත්. මේ කාරණය බැරෑරුම් ලෙස සලකමින් මේ කරුණ ඔබතුමන් වෙත ඉදිරිපත් කිරීමට මම කල්පනා කළා.
මන්ත්‍රීවරයෙකුගේ කටයුතු වලට අසාධාරණ ලෙසින් බාධා  කිරීම්, හිංසා කිරීම්, අගෞරව කිරීම්  පිළිබඳ වන, මෙවැනි ක්‍රියාදාමයන් මින් ඉදිරියට මෙම පාර්ලිමේන්තුව තුළ සිදුවීමට ඉඩ නොතැබීම ඔබතුමන්ගේ වගකීමක්.
එම නිසා මේ කාරණය වරප්‍රසාද කමිටුවට යොමුකර, එම කමිටුව ඉක්මණින් කැඳවා, සාධාරණත්වය ඉටු කිරීම උදෙසා පියවර ගන්නා මෙන් ඔබතුමන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.