මාධ්‍ය සහ අධිකරණය සෙල්ලමට ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කටයුතු කරමින් සිටින බවත්, ඇතැම් මන්ත්‍රීවරු අධිකරණයට  බරපතළ ලෙස අපහාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රංජන් රාමනායකට එක නීතියකුත්, ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට තව නීතියකුත් ක්‍රියාත්මක වන තත්ත්වයට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා අධිකරණය සහ මාධ්‍ය ඉලක්ක කර ගනිමින් සිදුකරන මේ අපහාසාත්මක තර්ජනාත්මක කටයුතු වහා නතර කළ යුතුව ඇතැයිද පැවසීය.

ආණ්ඩුව විසින් සිදුකරනු ලබන ප්‍රජාතන්ත්‍ර ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධනයට එරෙහිව විපක්ෂය තුළ බලවේග පාරට බැසීමේ තත්ත්වයට පත් නොකරන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකතුමා මේ මොහොතේ රට ගොඩනගන්නට පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා සහයෝගය ලබා දෙන්නේ රටේ පොදු ජනතාව ගැන සිතමින් බවද පැවසීය.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද (24) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී හමු වූ අතර, මේ දිනවල බිත්තර කර්මාන්තයේ මුහුණදී ඇති ගැටළු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විණි.

ඔවුන්ගේ ගැටලු පිළිබඳව මෙන්ම, මේ මොහොතේ පාරිභෝගිකයින් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව ද අවධාරණය කරනු ලැබීය.

ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පවා පාලනය කරන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකතුමා, එය එසේ නොකරන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාත්මක වන බවද පැවසීය.