රට මුහුණ පා ඇති ප්‍රධානතම ගැටලුවලට විසඳුම්  සෙවීම සඳහා ස්ථාපිත කිරීමට නියමිත ජාතික සභාව පිහිටුවීම පිළිබඳ යෝජනාව ලබන 20 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඒ සම්බන්ධ විවාදයක් පවත්වා එය සම්මත කරගැනීමට අද (14) රැස් වූ පක්ෂ නායක රැස්වීමේ දී තිරණය කර තිබේ.

කතා නායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පක්ෂ නායකයින් රැස්වී ජාතික සභාව ස්ථාපිත කිරීම හා එහි ඉදිරි කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබුවේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලින් සමන්විතව ජාතික සභාව ස්ථාපිත කළ යුතු බවට පසුගිය දා පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කරනු ලැබුවේය.

ඒ අනුව අද පැවති පක්ෂ නායක රැස්වීමේ දී ජාතික සභාවේ ප්‍රධාන කාර්ය භාර්ය කුමක් ද යන්න පිළිබඳව වැඩි වෙලාවක් සාකච්ඡා කර තිබිණි.

මේ අනුව කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරිම සඳහා මග පෙන්වීම මෙන්ම ආර්ථික ස්ථායීකරණය සඳහා කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන  පොදු වැඩසටහන්  සම්බන්ධව එකඟතා ඇතිකර ගැනීම මෙහි අරමුණ වී තිබේ.

පොදු අරමුණු ආණ්ඩුවට පෙන්වා දීම සහ යෝජනා කිරීම ජාතික සභාවේ වගකීම වේ.