එළෙබෙන අප්‍රේල් මස 07 වන දින වත්මන් ආණ්ඩුවට එරෙහිව රටපුරා විරෝධතා 150ක් පවත්වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි .

තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කියා සිටියේ ,

“මෙම සතිය ඉතාමත් තීරණාත්මක සතියක් හේතුව ලංකාව පිළිබඳව තීරණාත්මක කරුණු ගණනාවක් මේ මොහොතේ සිදුවෙමින් පවතිනවා. විශේෂයෙන්ම ඒ නිසාම සමගි ජන බලවේගය අපි පක්ෂයේ සංවිධාන වැඩපිළිවෙළ පිළිබඳව කාරණා ගණනාවක් සාකච්ඡා කර තිබෙනවා. එහිදී ඉදිරියේදී අපි ක්‍රියාත්මක කිරීමට නියමිත පක්ෂයේ ක්‍රියාකාරකම් පිළිබඳව වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබෙනවා .විශේෂයෙන්ම මේ මොහොතේ ජනතාව මුහුණ දෙන දැඩි පීඩනකාරී තත්ත්වය සහ ජනතාවට අත්විඳින්නට සිදු වෙලා තිබෙන කනගාටුදායක තත්ත්වය සමගි ජනබලවේගය අපිට පමණක් නෙවෙයි සමස්ත මහ ජනතාවට දැනෙන කාරණයක්. ඒ නිසාම අපි තීරණය කළා මේ රටේ ජනතාවගේ මේ පීඩනකාරී තත්ත්වය සහ ඔවුන් මුහුණ දෙන අසීරු තාවයන් පිළිබඳව දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් රටපුරා ක්‍රියාත්මක කරන්න. ඒ අනුව අපි මාර්තු 15 වැනිදා ආරම්භ කළා ලංකාව පුරාම රටේ ජනතාව කොළඹට කැඳවලා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කළා. එය බොහොම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් අපි සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ඉලක්ක කරලා එම කොට්ඨාශය තුළ එකවර විරෝධතා ව්‍යාපාර 150 ක්‍රියාත්මක කිරීමට නියමිතයි.ඒ සඳහා ඒ ඒ පළාත් වල ක්‍රියාකාරීන් සංවිධායකවරුන් වගේම අපේ මහජන නියෝජිතයන් විරෝධතා ව්‍යාපාර වලට සහභාගි වෙනවා ඒ අනුව අප්‍රේල් 7 පෙරවරුවේ මේ විරෝධතා ව්‍යාපාරය 150 මේ රටේ සිද්ධවෙන ‍ක්‍රියාවලියට විරෝධය පළ කරන්න ජීවන බර දරාගන්න බැරි විදියට වැඩිවෙනකොට ඒක පාලනය නොකිරීම ගැන ජනතාවගේ පීඩනය පිට කරන්න එම විරෝධතා ව්‍යාපාර 150ක් සූදානම් කර තිබෙන බව” මන්ත්‍රීවරයා පැවසීය .

සජබෙ මැයි දිනය මහනුවර දී පවත්වන බව ද, තිස්ස අත්තනායක මහතා කියා සිටියේය .

තව දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,

“ඒ වගේම මෙවර මැයි දිනය මහනුවරදී පවත්වන්න අපි සැලසුම් කර තිබෙනවා ඒ අනුව මැයි පළවෙනිදා පස්වරු එකට මහනුවරදී මැයි දිනය පවත්වනවා ඒ සඳහා විශේෂයෙන් මධ්‍යම පළාත් හා වයඹ මූලික කරගත් ලංකාවේ සෑම පළාතකින්ම නියෝජිතයන් සහභාගි වෙන්න නියමිතව තිබෙනවා. ඒ අනුව වැඩ කරන ජනතාවගේ ඒ දිනය අපි මහනුවරදී තමයි පවත්වන්න සූදානම් කර තිබෙනවා ඒ සමග තවත් ප්‍රධාන ඉසව් ගණනාවක් සංවිධානය කරමින් තිබෙනවා විශේෂයෙන්ම ජුනි 30 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා සමගි භික්ෂු සමුළුව සංවිධානය කරන්න එය දීපව්‍යාප්තව සිටින ආසන මට්ටමින් තෝරා ගනු ලබන ස්වාමීන් වහන්සේලා ඒකරාශී කර සමගි භික්ෂු සමුළුව පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොටත් සදහම් යාත්‍රා වැඩපිළිවෙළ හරහා ආගමික සහජීවනය ගොඩනගන ඒ වගේම පන්සල, පල්ලිය ,කෝවිල ,දේවස්ථානය, සම්බන්ධීකරණය කරන වැඩපිළිවෙළක් සදහම් යාත්‍රා හරහා අපි ක්‍රියාත්මක කළා .ඒ අනුව අපි ඊළඟ අදියර හැටියට සමගි භික්ෂු සමුළුව කොළඹ දී පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ඒත් සමග දැවැන්තම දේශපාලන සංවිධානය ඡන්දපොළ මට්ටමින් සංවිධාන ඇති කරන සංවිධාන ශක්තිමත් කරන සහ සංවිධාන ගොඩනගන ව්‍යාපාරයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ජන පවුර නමින් ගොඩනගන්න එම ජන පවුර ව්‍යාපාරය බලාපොරොත්තු වෙනවා එය ජූලි මාසේ 28 වෙනිදා ජාතික සමුළුව කැඳවන්න කොළඹදී එම ජාතික සමුළුව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපි කොළඹදී කැඳවන්නේ එම කැඳවන මොහොතට ලංකාව පුරාම ජන පුවුර නියාමකවරු දොළොස්දාහක් කොළඹට කැඳවන්න තමයි සැලසුම් කරමින් තිබෙන්නේ. මේක තමයි අපේ දේශපාලන ප්‍රධානතම සංවිධාන වැඩපිළිවෙළ එම වැඩපිළිවෙළ අනුව සෑම ඡන්ද පොළකින්ම තෝරාගත් ජන පවුර නියාමකවරයෙක් මේ සමුළුවට සහභාගි වන නියමිතව තිබෙනවා ඒත් එක්කම අනාගතයේ ජනාධිපතිවරණය ඉලක්ක කරලා මේ ජන පවුර ව්‍යාපාරය සංවිධානය කරන්න තිබෙනවා ඒ අනුව අපේ සංවිධාන ජාලය බිම් මට්ටමේ ඡන්දපොළ මට්ටමින් සංවිධානයක් බවට පරිවර්තනය වේවි ඒ අනුව ජන පවුර ජාතික සමුළුව ජුලි මාසයේ 28 වෙනිද කොළඹදි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි”

යනුවෙන් අද දින විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසීය .