මීට වසර 15කට පෙර කුරිරු ලෙස ඝාතනය කරන ලද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාට යුක්තිය ඉටු කරන බවට පසුගිය වසර කිහිපයේම මැතිවරණ සමයේ විවිධ දේශපාලනඥයන් පොරොන්දු වුවත් එම දේශපාලන නායකයන් ලසන්ත වික්‍රමතුංග මහතාට සහ එම පවුලට ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එම යුතුකම ඉටු නොකළ බවත් එය ලැජ්ඡා සහගත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සිය ජීවිත කාලය තුළ ප්‍රශස්ත ප්‍රබුද්ධ මාධ්‍යවේදියකු ලෙස සුවහසක් ජනතාවට සත්‍ය සහ ඇති තතු හෙළි කරන්න කටයුතු කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ඔහුගේ ජීවිතය පුජා කරන්න සිදු වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම වත්මන් ජනාධිපතිවරයාව, ජනාධිපති කිරීමට විවිධ අවස්ථාවල දී විවිධ දායකත්වය ලබා දුන් ලසන්ත වික්‍රමතුංග මහතාට සහ ඔහුගේ පවුලට සාධාරණයක් ඉටු කිරීම සඳහා ඔහුගේ ඝාතකයන් සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් සිදු කර ඔවුන් නීතිය හමුවට ගෙනවිත් යුක්තිය සහ සාධාරණත්වය ඉටු කර දෙන ලෙසත් නීතියේ ආදිපත්‍ය සුරකීම ජනපතිගේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අදට (8) යෙදී ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ 15 වැනි ගුණසමරුව නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.