ගොවීන්ගේ ආර්ථීක ශක්තිය වැඩිකිරීම හා ඔවුන් ණය බරින් මුදවා ගැනීම අරමුණු කොටගෙන ගොවීන් ලබාගෙන ඇති නොගෙවූ ගොවි ණය කපා හරින ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් ජනාධිපති වෙත යොජනා කර තිබෙන බව වාර්තා වනවා. ඉන්පසු අද (සැප්තැම්බර් 03) ජනාධිපති සමග පැවති සාකච්ඡාවෙන් අතරතුර රාජ්‍ය ඇමති තෙන්නකෝන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර මෙම යෝජනාව ඉදිරියේදි කැබිනට් මණ්ඩලයට යොමු කිරිමට නියමිත බවයි සඳහන් වන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා (අගෝස්තු 11) ගල්ගමුව සතිපොල භූමියේදී පැවැති වන්නි හත්පත්තු ගොවි සමුළුව අමතමින් ගොවීන් ලබාගෙන ඇති ගොවි ණය කපාහරින බවට ප්‍රතිඥාවක් දෙනු ලැබුවා.

සජිත් ගොවි ණය කපා හරින බවට දුන් ප්‍රතිඥාව!

ගොවි ණය කපාහැරීමේ ප්‍රතිඥාවට සීමා නොවූ සජිත් ප්‍රේමදාස වන්නි හත්පත්තු ගොවි සමුළුව අමතමින් ගොවියා ශක්තිමත් කිරීම, රටේ කෘෂිකර්මාන්තය ගොඩනැගීම වෙනුවෙන් සමගි ජන බලවේග ආණ්ඩුවකින් ගොවියා වෙනුවෙන් සිදුකරන නව ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙසේ අදහස් දැක්වුවා,

රටට ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් හදුන්වා දෙනවා

රටට නිවැරදි ඉඩම් පරිහරණ සැලසුමක් නොමැති වීම නිසා අප රටේ සංවර්ධන රටාව තිරසර වෙනවා වෙනුවට අවිධිමත්ව ක්‍රියාත්මක වන බැවින් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට සහ රට සැලැසුමක් අනුව ඉදිරියට යාමට ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් ඇති කර ගොවි බිම, සංවර්ධිත බිම්, ජනපද භූමි, වනසත්ව භූමි ආදිය තීරණය කළ යුතු බවත් එවැනි දෙයක් ස්ථාපිත කිරීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ වී වගාවේ වැඩිම ඵලදායිතාවක් ඇති දිස්ත්‍රික්කය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගාබිම් අක්කර 5000ක් ගුවන්තොටුපොළ වෙනුවෙන් ද අක්කර 45ක් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් වෙනුවෙන් සහ තවත් ගොඩබිම් වරායක් වෙනුවෙන් විශාල ඉඩම් ප්‍රමාණයක් වෙන් කිරීම නිසා අලි මිනිස් ගැටුම සහ ජල හිගය ඇති වූ බවත් අවිදිමිත් රාජ්‍ය තීන්දු ප්‍රතිපත්ති නිසා රටේ අනෙකුත් දිස්ත්‍රික්කවල ද මේ ගැටලුව මතුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නව තාක්ෂණයෙන් සවිබල ගැන්වූ ගොවි පරපුරක්

එසේම දැනුම, නව්‍යකරණය හා ඩිජිටල්කරණය යන ක්‍රමවේද 3 හරහා ගොවි ජනතාවගේ ඵලදායිත්වය හා නිෂ්පාදන ධාරිතාව ප්‍රගුණ කළ යුතු බවත් ලෝකයේ ඇති නව තාක්ෂණය අප රටේ ගොවි ජනතාවට නොමිලේ ලබා දෙන බවත් එවිට සීමාසහිත භූමිය තුළ අඩු පිරිවැයකින් වැඩි නිෂ්පාදනයක් කළ හැකි බවත් ඒ සඳහා ලෝකයේ අනන්තවත් උදාහරණ ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ගොවියාත් පාරිභෝගිකායත් සුරකින නව මිල සූත්‍රයක් සහ ගොවි මිතුරු ඇප් එකක්

කැරට් කිලෝව 2000ක් වන විට නුවරඑළිය බණ්ඩාරවෙල ගොවියාට ලැබෙන්නේ රුපියල් 500ක් බවත් නාඩු වී කිලෝවකට රුපියල් 92ක් දුන්නත් වෙළෙඳපොළේ 220 බවත් සම්බා වී 106ක් වන විට සම්බා සහල් 260ක් බවත් මේ අසාධාරණය නැති කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ගොවියාටත් පාරිභෝගිකයාටත් සිදුවන අසාධාරණය නිවැරදි කරන නව මිල සූත්‍රයක් හදුන්වා දෙන බවත් ය. ගොවියා සහ වෙළෙදපොල සම්බන්ධ කර ගොවි මිතුරු ඇප් එකක් සකස් කර සුහුරු ගොවියකු නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

සුහුරු ගොවියන් බිහි කරන නූතන කෘෂිකර්මාන්ත විප්ලවයකට යොමු වෙනවා

තවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතන හරහා යාවත්කාලින කරපු කෘෂි තොරතුරු පද්ධතියක් නිර්මාණය කරන බවත් ඒ තුළින් ගොවි ජනතාවට වඩාත් සුදුසු භෝගය ආදිය සම්බන්ධ තීරණය කළ හැකි බවත් ඒ තුළින් කාලගුණ තොරතුරු මෙන්ම අනෙකුත් තොරතුරු ලබා ගත හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ගොවියාගේ දූදරුවන් සුහුරු දරුවන් බවට පත් කර ගොවියන් සුහුරු ගොවියන් බවට පත් කිරීමේ නූතන කෘෂිකර්මාන්ත විප්ලවය දියත් කරන බවයි.

රනිල් රාජපක්ෂලා ගොවියා අමතක කළාට අපිට අමතක නැහැ

එමෙන් ම රජය පොහොර ඇතුලු අනෙකුත් කෘෂි යෙදවුම්වලට ගසා ඇති 18%ක වැට් බදු ඉවත් කරන බවත් සහල් ආනයනය සදහා තිබූ රුපියල් 65ක විදේශ වෙළෙද බද්ද අස්වැන්න නෙලන සමයේ එය රුපියල දක්වා රජය අඩුකර ඇති බවත් ඒ තුළින් වී ගොවියාගේ නිෂ්පාදනයට ස්ථාවර මිලක් නොමැති බවත් රනිල් රාජපක්ෂ රජය ලක්ෂ 18ක් ගොවි පවුල් අමතක කර කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

වී මෝල් මාෆියාවට තිත

මෝල් හිමියන් කිහිප දෙනකු මෝල් මාෆියාවක් ක්‍රියාත්මක කර ගොවි ජනතාව සහ පාරිභෝගිකයන් විනාශ කරන බැවින් හර්ෂ ද සිල්වා මැතිතුමාගේ ශක්ති වැඩසටහනෙන් කුඩා හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් ශක්තිය ලැබුවා සේ ඒ ප්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කර කුඩා හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් ශක්තිමත් කිරීම තුළින් සුදු අලියකු බවට පත්ව ඇති වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කර පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය එකට එකතු වී තරගකාරි වෙලෙදපොලක් නිර්මානය කර වී ගොවියා රැකගන්නා බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

බීජ සුරක්ෂිතතාවට ජාතික ප්‍රතිපත්තියක්

අප රටේ බීජ සුරක්ෂිතභාවය තහවුරු වන වැඩසටහනකට යොමු වී මේ සදහා රාජ්‍ය මැදිහත්වීමක් සිදු වී බීජ නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු කරන බවත් එය ජාතික ආරක්ෂාවට පවා වැදගත් වන බවත් ආනයන මත පදනම් වුවහොත් අනාරක්ෂිතභාවයක් ඇති වන නිසා බීජ හා රෝපණ ද්‍රව්‍ය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බවත් ඒ සදහා රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපෘතිවලට ප්‍රවේශ වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පැහැදිලි ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක්

එසේම රට තුල පැහැදිලි ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා නියං අවස්ථාවල ජලය ගන්න විදුලි බල ඇමතිගේ අවසර ගත යුතු බවත් අප රටේ භූමියෙන් තුනෙන් එකක් භෝග වගා කරන බවත් ඒ සදහා ශ්‍රම බලකායෙන් සියයට 25ක් දායකත්වය ලබා දෙන බවත් වැව් අමුනු 30000ක් ඇතුලු අනර්ඝ වාරි පද්ධතියක් පැවතියත් කෘෂිකර්මාන්තයේ හරිහමන් දියුණුවක් නොමැති නිසා එය දියුනු කළ යුතු බවත් ඒ සදහා ජාතික කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තිය ස්ථාපිත කර එම ගොවිජනතාව සුරකින බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ගොවි විශ්‍රාම වැටුප නැවතත්

එහි දී වෘත්තීය ගොවියන් බිහි කර ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ඇති කර වෘත්තීය සුහුරු ගොවියා බිහි කරන වැඩපිළිවෙළක් ඇති කරන බවත් මේ ගැටලුවලට තිරසර විසදුම් ලබා දෙන බවත් ගොවියා සමගි ඇති කර ගන්නා සමාජ ගිවිසුම කෘෂිකර්මාන්ත ජනාධිපති කාර්ය සාධන බලකායක් හරහා ගොවි ප්‍රඥප්තිය ක්‍රියාත්මක කර ගොවියා රජුන් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.