විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට අද (16) පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගත්තේය.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා දළදා මාලිගාවට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව පිළිගනු ලැබීය. අනතුරුව දළදා සමිදුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත පැමිණි සජිත් ප්‍රේමදාස මහතා දළදා වහන්සේට පුෂ්පෝපහාර දක්වා ආගමික වතාවත්වල නිරත විය.

ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා ශ්‍රී මහා නාථ දේවාලයට , ශ්‍රී මහා විෂ්ණු දේවාලයට , ශ්‍රී මහා කතරගම දේවාලයට ගොස් ආශිර්වාද ලබාගත්තේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය , ගයන්ත කරුණාතිලක මහතා , ලක්ෂ්මන් කිරිඇල්ල මහතා , සුජිව සේනසිංහ මහතා , හර්ෂණ රාජකරුණා මහතා , රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඊයේ දින නාමයෝජනා බාරදීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ගංගාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගැනීම සිදුවිය, අනතුරුව සවස මෝදර කෝවිලේ ආගමික වතාවත්වලට සහභාගී වී ආශිර්වාද ලබා ගැනීමට ද, මැදකොළඹ මුස්ලිම් දේවස්ථානයේ ආගමික කටයුතු සඳහා එක්වී ඉදිරි දේශපාලන කටයුතු සඳහා ආශිර්වාද ලබා ගැනීමට ද, බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයේ ආගමික වතාවත්වලට සහභාගී වී ආශිර්වාද ලබා ගැනීමට ද සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.