රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකෝටිපති දයාගමගේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රු කෝටි 264ක ණය මුදලක් බොල් ණය ලෙස කපා හැර ඇති බව සඳහන් කරමින් අද දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පැවති ජන රැළිය අමතමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කියා සිටියේ දෙහිඅත්තකණ්ඩිය අධී කෘෂිකාර්මික ප්‍රදේශ වල අහිංසක ගොවීන් ලබාගෙන තිබෙන වගා ණය මුළුමනින්ම කපා හැරීමට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ එළඹෙන ආණ්ඩුව හැරයා නියත වශයෙන්ම කටයුතු කරන බවයි.

මෙම රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා,

“මහවැලි සී කලාපයේ ඉන්න ජනතාවට සින්නක්කර ඔප්පුවක අයිතියක් ලැබිලා නෑ. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන රජයක් තුළින් මහවැලි සී කලාපයේ ඉන්න ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කරනවා.

ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන රජයක් තුළින් තත්ත්වයෙන් උසස් පොහොර නිසි වෙලාවට සාධාරණ මිලකට ගොවි ජනතාවට ලබාදීමට කටයුතු කරනවා. සමගි ජනබලවේගයේ ගොවිජන ප්‍රකාශයේ මුලින්ම තිබෙන්නෙත් ඒ කාරණයයි.

ඒ වගේම ගොවීන්ට මේ කන්නයේදී පොහොර සහනාධාරය ලැබිලා නෑ. පොහොර සහනාධාරය නිසි වේලාවට දෙන්න බැරි රනිල් වික්‍රමසිංහට ජනතාවට දෙන පොරොන්දු ඉටු කරන්න බෑ.

ඒ වගේම වනජීවි කලාප නම් කරද්දි ගොවීන්ගේ පාරම්පරික ඉඩම් විශාල ප්‍රමාණයක් වනජීවි කලාප වලට බැහැර වෙලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන රජයක් තුළින් වනජීවි කලාප නැවත සීමා ලකුණු කිරීම ගොවීන් සමඟ එකතුවෙලා සිදුකරනවා.

ඒ වගේම ගොවි ණය ගෙවා ගැනීමට නොහැකි විශාල ගොවීන් පිරිසක් සිටිනවා. ගෝඨාභය රාජපක්ෂ ගොවීන්ගේ පොහොර ලබාදීම නතර කරලා ගොවීන්ව ණය කරුවන් බවට පත් කළා. නමුත් ගොවියගේ ණය කපා හරින්නේ නැතිව අම්පාරේ ඉන්න දයා ගමගේ ගේ කෝටි 264 ක ණය කපා හරින්න රනිල් වික්‍රමසිංහ මහත්තයා කපා දැමුවා. හැබැයි සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන රජයක් තුළින් ගොවීන්ගේ සියලු වගා ණය කපා හරින්න කටයුතු කරනවා. ඒ වගේම දයා ගමගේ ගේ කපා හැරපු ණය නැවත ලබාගන්න කටයුතු කරනවා.

2005 දී මහින්ද රාජපක්ෂව බලයට ගේන්න ජනතා විමුක්ති පෙරමුණේ පිරිස විශාල දායකත්වයක් ලබා දුන්නා. ඔවුන් නිසා තමයි රාජපක්ෂවරු බිහිවුණේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණට එෆ් එම් නාලිකාවක් ලබාදුන්නා. ඒ එෆ් එම් නාලිකාව ජනතා විමුක්ති පෙරමුණට නඩත්තු කරගන්න නොහැකි වුණා. ඒ නාලිකාවේ සේවකයන්ට පඩි ගෙවා ගන්න නොහැකි වුණා. නඩත්තු කරගැනීමට නොහැකිව ඒ එෆ් එම් නාලිකාව පස්සේ ජනතා විමුක්ති පෙරමුණ විකුණලා දැම්මා. ඒ එෆ් එම් නාලිකාව වික්කේ ඇයි කියලා අනුර කුමාර දිසානායක පුලුවන්නම් උත්තරයක් දෙන්න. අද වනවිට එම නාලිකාවේ අයිතිය තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ පතුරු ගහන ජොන්ස්ටන් ප්‍රනාන්දුට. එෆ් එම් නාලිකාවක් පවත්වාගෙන යන්න බැරි පිරිසක් කොහොමද රටක් පාලනය කරන්නේ.

ජනතා විමුක්ති පෙරමුණට කරන්න පුලුවන් රටේ භිෂණය ඇති කරන්න , ගෙවල් ගිනි තියන්න. ගෝඨාභය ගෙදර යවපු දවසේ ජනතා විමුක්ති පෙරමුණ පැය 5 ක් රට පාලනය කළා. ගෙවල් 300 ක් විනාශ කළා , පොලොන්නරුවේ මන්ත්‍රීවරයෙක් මරලා දැම්මා , පොලිස් නිලධාරියෙක් මරලා දැම්මා. ඒ වගේම කටයුතු තමයි ජනතා විමුක්ති පෙරමුණට කරන්න පුලුවන්. ගෝඨාභය ගිය පාරේ තමයි අනුර කුමාරත් යන්නේ.

සජිත්ට හොරුන්ට දඩුවම් දෙන්න බෑ කියලා ජනතා විමුක්ති පෙරමුණ කියනවා. සජිත්ට හොරුන්ට දඩුවම් දෙන්න බෑ තමයි. සජිත් ප්‍රේමදාස පොලිකාරයෙක් , නඩුකාරයෙක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස තමයි හොරුන්ට දඩුවන්ම දෙන්න නීති හදන අනාගත ජනාධිපතිවරයා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ පිරිසට පුලුවන් හොරුන්ට දඩුවම් දෙන්න. කෘෘරත්වය මත පදනම් වු දේශපාලන ව්‍යාපාරයක් බලයට ආවොත් පලමුව පහර එල්ල වෙන්නේ රටේ එක්තරා පැලැන්තියකට. ඒ නිසා ජනතාව වෙනුවෙන් වැඩකරන නායකයා සජිත් ප්‍රේමදාස මහතාව රටේ ජනාධිපතිවරයා කරන්න සියලු දෙනා එකතුවෙමු”