පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වීඩියෝ සාකච්ඡාවක් පැවැත්වීමට අනෙකුත් පක්ෂ වලට අභියෝග කර තිබුණා ඒ අනුව ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව ප්‍රකාශ කරමින් සමගි ජන බලවේගයේ  මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ,

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති ගිවිසුම් සහ එයට අදාල අනෙකුත් කරුණු පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වීඩියෝ සකච්ඡාවකට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශ කොට ඇත. එවිට එයට සමගි ජන බලවේගය ඇතුළු පාර්ශව වලට සම්බන්ධ වී අදහස් දැක්විය හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කොට ඇත.

රටේ ආර්ථික අර්බුදය හඳුනා ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතු යැයි ප්‍රකාශ කලේත්, මුලින්ම ඉල්ලීමක් කලේත්, සමඟි ජන බලවේගයයි. ඒ 2020 වසරේ අගෝස්තු මාසයේදීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රටේ ආර්ථික අර්බුදය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයකට ගොස් මුල්‍ය අරමුදලේ සහය රටට ලබා ගත යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා දී අදහස් පල කලේ රට බංකොලොත් යැයි ප්‍රකාශ කිරීමට පෙරය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණි සෑම අවස්ථාවකදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුව මුණ ගැසී සාකච්ඡා කොට ඇත ඒ සෑම අවස්ථාවකදීම සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට බලපාන කොන්දේසි වෙතොත් ඒවා සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සමගි ජන බලවේගය ඉදිරිපත් කොට තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, යෝජනා සහ කොන්දේසි ලෙස පවසමින් රටේ ජනතාව පීඩනයට පත් කරනු ලබන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ක්‍රියා පිළිවෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැබෑ අදහස් නොවන බව අපි දනිමු. එබැවින් ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව ප්‍රකාශ කරමු.