තමා සමඟ එකතු වී ඉන්න පීරිස් බාර් පර්මිට් එකට, මත්පැන් බලපත්‍රයට, ඉඩමට, වරදානයට වරප්‍රසාදයට, මුදලට පනින පිරිසක් නොවන බව ඊයේ නාම යෝජනා අත්සන් තැබීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක වූ සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එතුමා මේ බව කියා සිටියේ තමා සමඟ එකතු වී සිටින පුද්ගලයින් පිළිබඳව විශ්වාසයක් තිබෙනවාද යන්නෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

විවිධ පුද්ගලයින් සමගි ජන බලවේගය සමඟ රට හදන වැඩපිළිවෙලට සහය දී තිබෙන්නේ රට ගැන හිතා පමණක් බවත් සක්විති රජකම ලබාදෙන බව කීවත් මුදල් භාවිතා කර කිසිවෙකු සමගි ජන බලවේගයට නොගන්නා බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.

ප්‍රතිපත්තිකේන්ද්‍රීය, ජනතාකෙන්ද්‍රිය, දුෂණයෙන් වංචාවෙන් තොර ඕනෑම පුද්ගලයෙකු සමගි ජන බලවේගයට ගැනීමට පසුබට නොවන බවත්, ජනාධිපතිවරණයේදී මුහුණදෙන අභියෝගයට වඩා රට වර්තමානයේ මුහුණදෙන අභියෝගයට මුහුණදීම තම ප්‍රමුඛ කටයුත්ත වී තිබෙන බවයි විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කරමින් කියා සිටියේ.