ඊයේ දින පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ සමස්ත ප්‍රතිපලය ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබුනා. එම ප්‍රතිඑලයට අනුව මේ වන විට ආණ්ඩු පක්ෂය හොබවන මාලිමාවට ආසන 15 කුත් විපක්ෂයට ආසන 15කුත් ලෙස ආසන ජයග්‍රහණය කර තිබුනා. මෙම ප්‍රතිඑලය නිරීක්ෂණය කිරීමේදී දක්නට ලැබුනේ මාලිමාව ජයග්‍රහණය කර තිබුණද 50% ඉක්මවා ගිය ප්‍රතිශතයක් වාර්තා කිරීමට නොහැකි වී තිබීමයි.

මාලිමාව ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට දින 36ක් ඉක්ම යන මොහොතේ පැවැති මෙම මැතිවරණයේදී ලබාගෙන ඇත්තේ 47.64%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. ඇල්පිටිය ප්‍රාදේශීය සභා සමස්ත ප්‍රතිඑලයෙන් නිරීක්ෂණය වන්නේ මාලිමා ආණ්ඩුව දින 36ක් රට පාලනය කළද, එම පාලනයේ කිසිඳු ප්‍රගතියක් මෙම ප්‍රතිඑලයෙන් වාර්තා නොවන බවයි.

ලාංකේය මැතිවරණ ඉතිහාසය තුළ මෙතෙක් කල් දක්නට ලැබුණේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන, ආණ්ඩු බලය හොබවන දේශපාලන පක්ෂයට ඉතාමත් සුවිශේෂී ජයක් අනෙකුත් මැතිවරණවලින් ලැබීමයි. නමුත් මෙම ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය හොබවන මාලිමා පක්ෂයට එවැනි වාසියක් අත්පත් කර ගැනීමට නොහැකි වූ බව ඉතාමත් පැහැදිලිව නිරීක්ෂණය වේ.

2018 පළාත් පාලන මැතිවරණය පැවැත්වුණේ 2019 ජනාධිපතිවරණය පැවැත්වීමට පෙරය. යහපාලන ආණ්ඩුව පැවැති එම සමයේදී පොහොට්ටුව ඇල්පිටියේ සියලු කොට්ඨාස ජයගත් අතර එවක ආණ්ඩු පාලන බලය හෙබවූ එක්සත් ජාතික පක්ෂයට එක් කොට්ඨාසයක් හෝ ජයගැනීමට නොහැකි විය නමුත් මෙවර විපක්ෂය ආසන 15 ලබාගෙන තිබේ.

ඒ අනුව සමස්ත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිඑලය තුළ අනුර ප්‍රමුඛ මාලිමා පාලනයේ කිසිඳු ප්‍රගතියක් වාර්තා නොවන බව පැහැදිලිව නිරීක්ෂණය වේ.