සක්වල හා හුස්ම වැඩසටහන්වල සියලු ගණුදෙනු සහ පරිත්‍යාග සිදුවන්නේ පූර්ණ විනිවිධභාවයකින් යුක්තව බැවින් සමගි ජන බලවේග රජයක් තුළත් සියලුම රාජ්‍ය ගණුදෙනු පූර්ණ විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක කරන බවත් ඇමති වුවත් ජනාධිපති වුවත් අගමැති වුවත් සමගි ජන බලවේග රජයක් තුළ කිසිදු අයකුට හොරකමට, අල්ලසට, පගාවට ඉඩක් නොමැති බවත් ඔවුන්ට සුරසැප විඳිනවාට වඩා දැඩි දුෂ්කර ජීවිතයක් ගත කිරීමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එවැනි තාන්න මාන්න වරදාන වරප්‍රසාද නොලැබෙන විට සමහර විට විවිධ පුද්ගලයන් විවිධ තීන්දු තීරණ ගත හැකි බවත් මේ වන විට මත්පැන් බලපත්‍ර වෙනුවෙන් දේශපාලන පක්ෂ සොයා යන පිරිස් පවා සිටින බවත් තමන්ගේ ආත්මය, ගෞරවය ගැන නොසිතා සිල්ලර දේශපාලනයක නිරත වන බවත් මේ රට පරිහානියට පත් වී ඇත්තේ එම සිල්ලර දේශපාලනය නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (30) හම්බන්තොට මුල්කිරිගල වලස්මුල්ල මැදගම්ගොඩ මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 211 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ අඩුපාඩු සකස් කර ගැනීම සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

මේ පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට සියලු දෙනා එකට අත්වැල් බැඳගෙන මහා සංවර්ධන සංග්‍රාමයකට කැපවිය යුතු බවත් එක එක දේශපාලනඥයන් පසුපස නොගොස් ස්වශක්තියෙන් ස්වෝත්සාහයෙන් සාඩම්බර ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ජනතාවට උදාකර දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රටේ අඩුපාඩු මට කිව්වා කියලා මම තරහ වෙන්නේ නැහැ

තමා ජනතාවගේ බදු මුදලින් සේවය කරනා මහජන සේවකයකු නිසා රටේ අඩුපාඩු කිව්වා කියා තමා අමනාප නොවන බවත් තමා සිටින්නේ ඒ අඩුපාඩු සකස් කිරීමට බවත් එය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය බවත් ලක්ෂ 220 ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු යන 225 වගකීම වන්නේ රටේ අඩුපාඩු සකස් කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් රජය ටයිකෝට් ඇඳගෙන අමානුෂීය වැඩ කරනවා

රටේ පාසල්වල අඩුපාඩු අනන්තවත් තිබියදී ටයිකෝට් ඇදගෙන තරුපහේ හෝටල්වල සමුළු පවත්වමින් ඩිජිටල් ශ්‍රී ලංකාවක් හදන බවට ප්‍රකාශ කරන බවත් මෙවැනි බොරු ප්‍රකාශ සිදු නොකර හදවතට මනුස්සකමක් ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් වත්මන් රටේ ක්‍රියාත්මක අමානුෂීය පාලකයන් 1-5 ශ්‍රේණි දක්වා දිවා ආහාරය ලබා දී 6–13 ශ්‍රේණිවල ළමුන්ට එය තහනම් වී ඇති බවත් එය අමානුෂීය ක්‍රියාවක් ලෙස දකිනා බවත් අඩුපාඩුකම් සහිතව අධ්‍යාපනයක් ක්‍රියාත්මක වනවා යනු එය සිසුන්ගේ මූලික හා මානව අයිතීන් උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දරුවන් සන්නද්ධ විය යුත්තේ කඩු කිණිසිවලින් නොව දැනුමෙන් හා අධ්‍යාපනයෙනි

රටේ දරුවන් සන්නද්ධ විය යුත්තේ උණ්ඩ, බයිනේත්තු, කඩු කිණිසිවලින් නොව දැනුමෙන්, හැකියාවෙන්, නිපුණතාවෙන් හා කුසලතාවෙන් බවත් එවැනි දැනුමෙන් කුසලතාවෙන් හා නිපුණතාවෙන් දරුවන් සවිබල ගැන්වීම සක්වල වැඩසටහන තුළින් සිදුවන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විකල්පය තෝරා ගන්න පෙර දරුවන් ගැනත් සිතන්න

මේ මැතිවරණ වසරේ රටේ ජනතාව විකල්පයක් තෝරා ගත හැකි බවත් එම විකල්පය තෝරා ගත යුත්තේ තමන් ගැන සිතා නොව තමන්ගේ දරු පරපුර ගැන සිතා බවත් මේ බංකොලොත්භාවයෙන් ගොඩ එන්න උත්සාහ කරන රටක් ලෙස මෙම අධ්‍යාපන ක්‍රමයෙන් ලොව දිනිය නොහැකි බවත් ඒ සඳහා විද්‍යා, තාක්ෂණ, තොරතුරු තාක්ෂණ, පරිගණක හා භාෂාවන් ඉගෙන ගැනීමේ අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 211ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2349ක් වැය කර තිබේ.