දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්ත මහතා පවසන්නේ ඉන්ධන ගැටලුව හේතුවෙන් අද (06) දිනයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමේ හැකියාවක් නොමැති බවයි.

ඉන්ධන ලබාදීමේ ගැටලුවක් මුල් කර ගනිමින් දුම්රිය නියාමකවරුන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් සමස්ත කාර්යාල දුම්රිය සංඛ්‍යාවෙන් අද දිනයේ ධාවනය කර තිබෙන්නේ දුම්රිය 22 ක් පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සිටින සේවකයින් සඳහා යම් ඉන්ධන ප්‍රමාණයක් සේවයට පැමිණීම සඳහා එම දෙපාර්තමේන්තුව මඟින් ලබාදෙන අතර සියලුම සේවකයින් මෙම ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරත වන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ.

මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් මෙලෙස වර්ජනයක නිරතවීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කණගාටු වන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්ත වැඩිදුරටත් සඳහන් කළේ.