මාධ්‍ය නිවේදනය – 2022.06.24

නුගේගොඩ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මූලස්ථානයට කිසිදු පූර්ව දැනුම් දැනුම් දීමකින් තොරව වැල්ලවත්ත පොලිසියේ සහ මිරිහාන විශේෂ අපරාධ විමර්ෂණ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් පිරිසක් කඩාවැදී තිබේ. ලියාපදිංචි දේශපාලන පක්ෂ කාර්යාලයකට කිසිම දැනුම්දීමකින් තොරව කඩාවැදීම අතිශය බරපතළ තත්ත්වයකි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත්,එහි ඇත්තේ පොලිස් රාජ්‍යයක් නොවන බවත් පළමුව සිහිපත් කළ යුතුය.

දේශපාලන පක්ෂවලට තමන්ගේ දේශපාලනය කරන්න අයිතියක් තිබෙන අතර අපි ඒ අයිතිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවද සිහිපත් කරමු. තමන් පැමිණි හේතුව හෝ නිශ්චිතව කියන්නට නොහැකි තත්ත්වයක් තුළ අදාල කඩාපැනීම තුළ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී  සමාජය බියවැද්දීමේ කුමන්ත්‍රණයකි.

ඉකුත් මැයි 9 වැනිදා පෙරවරුවේ අරලියගහ මන්දිරයේ සිට කුලප්පු කර හරිනු ලැබ සිදුකළ සාහසික පහරදීම් වලට අදාල සැකකරුවන් කිසිවකු අත් අඩංගුවට ගැනීමට උනන්දුවක් සහ උවමනාවක් නැති පොලිසියට දේශපාලන පක්ෂ කාර්යාල වලට කඩා පැනීමට ඇති වුවමනාව සහ උනන්දුව පුදුම උපදවන සුලු ය.

මේ වනවිටත් ජූනි 9 උද්ඝෝෂණයක් ගැන පවසා අරගලකරුවන් 06 දෙනෙක් පොලිසිය අත් අඩංගුවට ගෙන ඇති අතර, නමුත් මැයි 09 ගෝල්ෆේස් අරගල භූමියට පහරදෙන්න පිරිස්  තමන්ගෙ නිල නිවසට රැස්කළ මහමොළකරුවෝ නිදැල්ලේය.

මේ අතර ශ්‍රී ලංකා තරුණ ජනාමධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු  සහ මානව හිමිකම් ක්‍රියාරිකයකු වන ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හට ලබන 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම් දුන් පොලිස් පණිවුඩයක්  ඔහුගේ නිවසට ලැබී තිබිණි.මෙයට හේතුව කුමක්දැයි පොලිසිය පැත්තෙන් විමසූ විට අදාළ මාධ්‍යවේදියාට ලබාදී ඇත්තේ අතිශය විහිළු සහගත සහ වගකීම් විරහිත පිළිතුරකි.

මේ සියලු කාරණා තුළින් ගම්‍ය වෙමින් තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රට අතිශය බරපතළ පොලිස් රාජ්‍යයක් සහ ඒකාධිපති රාජ්‍යයක් වෙත තල්ලු වෙමින් තිබෙන බවය.

තමන් වෙතින් ගිලිහී යන බලය, බලහත්කාරය යොදා ගෙන රැකගන්නට වෑයම් කරන ආණ්ඩුවට සහ එහි කොටස් කරුවන්ට අප අවධාරණය කොට සිටින්නේ වහාම මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු නවතා දමන ලෙසය.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක