මේ මොහොතේ බරපතළ අගාධයකට වැටී ඇති රට ගොඩනැගීමේ හැකියාව ඇත්තේ කුමන කණ්ඩායමට ද යන්න තීරණය කිරීමේ ශක්තිය ජනතාවට ඇති බවත් එය වටහා ගෙන ඇති ජනතාව දිනෙන් දින සමගි ජන බලවේගය වටා රොද බඳින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .
දරාගත නොහැකි ජීවන වියදමෙන් රට අගාධයට වැටී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා වහාම කළ යුත්තේ මේ රට ගොඩනැගීමේ කාර්යභාරය අතට ගැනීම බවද පැවසීය.තට්ටු මාරු ක්‍රමය වෙනුවට අලුතින් හිතන දේශපාලන චින්තනය මේ රටේ ජනතාව තුළ ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගය රටේ ප්‍රධාන විපක්ෂය ලෙස තෝරා පත් කළේ ඒ අනුව බවද පැවසීය.
මෙරට දේශපාලන වංශ කතාව තුළ සමගි ජන බලවේගය විපක්ෂ දේශපාලන භූමිකාව සහමුලින්ම වෙනස් කොට ඊට නව අර්ථයක් එක් කළ බව පැවසූ විපක්ෂ නායකතුමා දේශය ගොඩනැංවීමේ වැඩපිළිවෙළට, බලය නැතත් සමගි ජන බලවේගය දායක වී ඇති බවද පැවසීය.
වැඩ බැරි දුර්දාන්ත ආණ්ඩුව ඒකාන්තවම ගෙදර යැවීම උදෙසා පෙළ ගැසෙන බව පැවසූ විපක්ෂ නායකතුමා රටට අගයක් එකතු කිරීමේ කටයුත්ත ද විපක්ෂයේ පක්ෂයක් හැටියට සමගි ජනබලවේගය ඉටුකරන බවද කීය.
සමගි ජනබලවේගයේ අගලවත්ත ආසන සංවිධායක ජගත් විතාන මහතාගේ ආසන බල මණ්ඩල රැස්වීම ඊයෙ (20) අති සාර්ථක ලෙස පැවැත්විණි.
එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි වූ අතර අති විශාල ජනකායක් ඊට එක්ව සිටියහ.