ඩිජිටල් ආර්ථික විප්ලවයක් නිර්මාණය කළහොත් ඉතා කඩිනමින් ශක්ති සම්පන්න සංවර්ධිත රටක් නිර්මාණය කළ හැකි බවත්, කිසිම රටක් අභියස අබියස දණ නොනමා අභිමානයෙන් නැගී සිටිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඩිජිටල් තාක්ෂණික දියුණුවක් අත්පත් කරගැනීමට සමගාමීව ඉංග්‍රීසි සක්ෂරතාවය වර්ධනය කර ගැනීමත් අත්‍යවශ්‍ය බව පැවසූ විපක්ෂ නායකතුමා සිය පක්ෂය ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කොට ඇතැයිද පැවසීය.

ඒ උදෙසා භාෂා විද්‍යාගාරයක අවශ්‍යතාවය අවධාරණය කළ විපක්ෂ නායකතුමා,සුහුරු පුරවැසියකු බිහි කිරීමේ ප්‍රමුඛ පියවර වන්නේ ද එය යැයි පැවසීය.

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ  “සක්වල” වැඩසටහනෙහි 12 වන පියවර වැනි අදියර ඊයේ (01) ආරම්භ විය.

“දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක” සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙන් රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ අ/ කලත්තෑව මහා විද්‍යාලය වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පරිත්‍යාග කිරීම ඊයේ (01) සිදුවිය.

කන්නන්ගර මැතිතුමා මේ රටට නිදහස් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන වකවානුවේ බොහෝ ප්‍රභූන් ඊට එරෙහි වූ බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන් පවසා ඇත්තේ සියලු දෙනා අධ්‍යාපනය ලැබුව හොත් තම තමන්ගේ වතුවල පොල් ගෙඩියක් කඩා ගැනීමටවත් කිසිවකු ඉතිරි නොවනු ඇති බව යැයි ද කීය. එහෙත් ඒ අභියෝග නොතකා කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනයේ පහස මේ රටේ ජනතාවට උරුම කර දුන් බව පැවසූ විපක්ෂ නායකතුමා එහි නවතම අරගලය සක්වල හරහා දියත් කරන බවද පැවසීය.

මේ කොරෝනා සමයේ කොරෝනා මර්ධනය උදෙසා විශාල මුදලක් සමෘද්ධි බැංකු වලින් ආණ්ඩුව ලබාගෙන ඇති බවත් එය රුපියල් බිලියන 47ක් බවත් පැවසූ විපක්ෂ නායකතුමා, එලෙස ලබාගත් මුදල් නැවත පියවන්නට ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් මේ දක්වාත් අරගෙන නැතැයිද පැවසීය.

ඒ බිලියන 47 ම අහිංසක සමෘද්ධිලාභීන්ගේ බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ ආණ්ඩුව සමෘද්ධි ලාභියාගේ මුදල් ටිකට පවා පිල්ලි ගසා ඇතැයි පැවසීය.