ඉතිහාසයේ කොළඹට කිරි ගමට කැකිරි වැනි අදහස් සමාජගත වුණේ එක්තරා කොටසක් පමණක් කේන්ද්‍රගත කරමින් සිදු වූ සංවර්ධන ක්‍රියාවලිය හේතුකොටගෙන බවත්, භූගෝලීය වශයෙන් කොටස් වෙන්කර රටක් සංවර්ධනය කරන්නට නොහැකි බවත්, සංවර්ධනයේ ප්‍රතිලාභ රටේ සෑම කොටසකටම සමාන ලෙස ගලා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .
ඇතැම් කොටස් තමන්ව විවේචනය කරන්නේ සුබසාධන කටයුතු සිදුකිරීම හේතුවෙන් බවත් ,ජනතාවට බෙදා දීම පිළිබඳව ඔවුන් දැඩි නො සතුටකින් සිටින බවත් පැවසූ විපක්ෂ නායකතුමා, දේශපාලකයන් ධන කුවේරයින් තම තමන්ට බෙදාගැනීම ගැන කිසිවෙක්, කිසිවක් කතා නොකරන බවද පැවසීය.
හාම්පුතුන් ගැන,ධන කුවේරයින් ගැන පමණක් නොව, සූරා කෑමට ලක් වන බහුතර ජනතාව ගැනත් සොයා බැලීමට තමන්ට ඇති වගකීම කිසිදා අත් නොහරින බව ද විපක්ෂ නායකතුමා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අද(25) කොළඹ නව නගර ශාලාවේ පැවති සමගි සේවක සංගමයේ පළමු සංවත්සර උළෙල අමතමිනි.
වසර ගණනක් තිස්සේ අප්‍රමාණ දුක් කම්කටොලු මැද ජීවත්වන දේශපාලන පළිගැනීම්වලට ලක් වූවන් විශාල පිරිසක් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, තමන් බලයට පත්වූ වහාම කරන පළමු කටයුත්ත අතර දේශපාලන පලිගැනීමට ලක් වූවන්ට සහන සැලසීම තිබෙන බව පැවසීය .අනූ හතරේ සිට දේශපාලන පලිගැනීමට ලක්වූ සියලු දෙනාට සහන සැලසීම ඒකාන්තවම තමන් ඉටුකරන බවද ඒ මහතා පැවසීය.