ඉතාම නුදුරේ දී ගෙවන්නට ඇති ණය වාරිකය ගෙවීමට පෙර ආණ්ඩුව කළ යුත්තේ ජනතාව ජීවත් කරවීම උදෙසා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ ජනහමුවක් අද(10)මුලතිව් පැවැත්විණි.විශාල ජන සහභාගිත්වයක් එහි තිබූ අතර තමන් මුහුණදෙන ගැටලු පිලිබදව ද බොහෝ දෙනා විපක්ෂ නායකතුමාව දැනුවත් කරනු ලැබීය.

විපක්ෂ නායකතුමා එහිදී මෙසේද පැවසීය 

“ළගදීම ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය ගෙවන්න තියෙනවා. මොනව කරන්නටත් පෙර ජනතාව ජීවත් කරන්නට ඕනි කියලා ආණ්ඩුවට කියන්න කැමතියි .ජනතාවට අවශ්‍ය ආහාර ටික,ඖෂධ ටික, ඉන්ධන ටික  ලබාදීම මේ ආණ්ඩුවේ වගකීම. ඉන්ධන නැතිවුනොත් රටේ කර්මාන්ත පද්ධතියම, ජන සමාජයම කඩාගෙන වැටෙනවා. ආණ්ඩුවට සැලැස්මක් නැද්ද මේ ප්‍රශ්නය වලට විසඳුම් ලබා දෙන්න. ආණ්ඩුව දක්ෂ රටේ ආර්ථික ප්‍රශ්න,ඩොලර් ප්‍රශ්න  විසඳන්න නෙමෙයි. ආණ්ඩුව කරන්නේ ජාතීන් ජාතීන්, ආගම් අතර වෛරය පතුරවලා අනවශ්‍ය තත්ත්වයක් නිර්මාණය කිරීමයි. 

ආණ්ඩුව එහෙම කරද්දී සමගි ජන බලවේගය අද රෝහල් වලට හුස්මක් ගෙනල්ලා රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය තහවුරු කර ගන්න කටයුතු කරනවා. අනික් පැත්තෙන් තොරතුරු තාක්ෂණ විප්ලවය සක්වල වැඩසටහන,  පාසල් පද්ධතියට ගෙනැවිත්, නවීන අධ්‍යාපනය පරිගණක සාක්ෂරතාවය, තොරතුරු තාක්ෂණ සන්නිවේදන සාක්ෂරතාවය, ඉහළ නැංවීමට කටයුතු කරනවා. 

ආණ්ඩුව ජනතාව ජාති භේදයෙන් සන්නද්ධ කරද්දි,  අපි ජනතාව හොඳ සෞඛ්‍ය සම්පන්න වැඩසටහන් වලින්,  හොඳ අධ්‍යාපනික වැඩසටහන් තුලින් සන්නද්ධ කරනවා. මෙන්න මේකයි ආණ්ඩුවේ සමගි ජන බලවේගයෙයි වෙනස.”