මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවී, පාර්ලිමේන්තුව වර්ජනය කරන සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැස් කර තිබේ.

මර්දනයට එරෙහි විපක්ෂයේ පාර්ලිමේන්තුව නමින් මෙය හදුන්වා ඇති අතර පාර්ලිමේන්තුවේදී කතා කරන වැය ශීර්ෂයන්ට අදාල කතා මෙහිදී සිදු කළේය. පාර්ලිමේන්තුවේදී කතා පැවැත්වීම වෙනුවට විකල්ප ස්ථානයක සිටිමින් පාර්ලිමේන්තුවේදී කරනු ලබන කතා සියල්ල මන්ත‍්‍රීවරු මාධ්‍ය හමුවේදී සිදු කළේය.

එහිදී මුල්ම කතාව එස්.එම්.මරික්කාර් මන්තීවරයා විසින් සිදු කළේය. මර්දනයට එරෙහි විපක්ෂයේ පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරුන් විසින් කරනු ලබන කතා සියල්ලම මේ වන විට සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කරමින් තිබේ.

‘‘සමගි ජන බලවේගය ජනතාවගේ විකල්ප ආණ්ඩුව බවට පත් වෙලා තියෙනවා. මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයාට ආණ්ඩුවේ මැති ඇමැතිවරු පහරදීමට උත්සාහ ගත්තා. ආණ්ඩුවේ අද කිසිම මන්ත‍්‍රීවරයෙක් මේ ගැන කතා කරන්නේ නෑ.

දැන් ආණ්ඩු පෙරලියක් අත ළග තියෙන්නේ. ඊළගට පිහිටුවන ආණ්ඩුව ඩීල් නැති, වැරදිකරුවන්ට දඩුවම් දෙන ආණ්ඩුවක්. ඒ නිසා වැරදි කරන්න එපා කියලා අපි හැමෝටම කියනවා

අද වියත්මගේ එකින්එක්කෙනා ආණ්ඩුවෙන් ඉවත් වෙමින් යනවා.ඇග ලොකු මොළය පොඩි සංචාරක ඇමැතිවරයා ඉදිරිගාමී කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නැහැ. ආණ්ඩුව විවේචනය කරනවා වගේ හැම විශයක් සම්බන්ධයෙන්ම, ඒ ක්ෂේත‍්‍රයේ දියුණුව සදහා වැඩපිළිවෙලක් අපට තිබෙනවා.

පපුවට ගහගෙන, මව්බිම පළමුවත්, දෙවනුවත් රකිනවා කියපු අය මේ රට විකුණාගෙන කනවා. ආණ්ඩුනේ නොහැකියාව නිසා තමයි මේ රටේ ඉඩම් විකුණන්න වෙලා තියෙන්නේ. මේ රට ඉඩම් විකුණලා බේරගන්න බෑ. මේ රටම සම්පුර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා.