පොහොර නොමැතිවීම නිසා දැඩිලෙස පීඩාවට පත්ව සිටින ජනතාව ‘පොහොර දීපියව්’ කියමින් කෘෂිකර්ම ඇමතිවරයාගේ, ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ පඹයන් ගිනි තබා විරෝධය පළකරද්දී ගොවි උද්ගෝෂණ සඳහා සහාය දැක්වීමට තමා ඉදිරිපත් වූ බවත්, කෘෂිකර්ම ඇමතිවරයාට විරෝධය පළකිරීම සඳහා ඔහුගේ නාවලපිටිය නිවස ඉදිරිපිට පිදුරු මිටියක් තබා පැමිණි බවත් සමගි තරුණ බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කණිෂ්ක ලැනරෝල් මහතා පවසනවා.
භාෂණයේ අයිතියට, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරමින් තමා සිදුකළේ සාධාරණ විරෝධයක් බවත් කෙසේ නමුත් මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිවරයාගේ හිතවතුන් දෙදෙනෙකු විසින් තමාට එරෙහිව පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බවත් ලැනරෝල් මහතා සඳහන් කරනවා. කණිෂ්ක ලැනරෝල් මහතා තමාට පහර දී තර්ජනය කළ බව පවසමින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ.
කෙසේ නමුත් කණිෂ්ක ලැනරෝල් මහතා පවසන්නේ එවැනි කිසිදු පහරදීමක් සිදු නොවූ බවයි. එවැනි පහරදීමක් සිදු වූයේ නම් අදාල විරෝධතාව ආවරණය කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන්ගේ කැමරා කාචවල එය සටහන් වියයුතු බවත් පෙන්වා දෙන ලැනරෝල් මහතා පවසන්නේ ගැරඬින්ට පහරදීමේ කිසිදු අවශ්‍යතාවයක් තමාට නොමැති බවයි.
මෙම පැමිණිල්ලේ සැබෑ අරමුණ ආණ්ඩුවට එරෙහිව කෘෂිකර්ම ඇමතිවරයාට එරෙහිව එල්ල වන විරෝධය යටපත් කර, ගොවි ජනතාව සහ විපක්ෂය බියගැන්වීම බව පෙන්වා දෙන ලැනරෝල් මහතා පවසන්නේ මෙවැනි ක්‍රියාමාර්ග හරහා තමා බයකර යටපත් කිරීමේ කිසිසේත් නොහැකි බවයි.