ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ආණ්ඩුවට විරුද්ධව මත පළකරන්න්නේ සැබෑ ලෙසම නම් ඉදිරි අයවැයේදී විරුද්ධත්වය ප්‍රකාශ කළ හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (02) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

”මාධ්‍යවේදියෙක් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් ජනතාවට මොනවද දෙන්නේ කියල අහනකොට බැසිල් රාජපක්ෂ මහත්තය කියනවා ජනතාවගෙන් තමයි ඉල්ලගන්න වෙන්නේ කියල. දෙයිහාමුදුරුවනේ මේ රටේ මුදල් ඇමතිවරයා. තවත් මොනවද මේ ආණ්ඩුව වෙනුවෙන් ජනතාවට දෙන්න තියෙන්නේ. ලක්ෂ 69 ජනතාව මේ ආණ්ඩුව වෙනුවෙන් කඩේ ගිහිල්ලා මහන්සි වෙලා වෙනසක් කරන්න බලාගෙන මේ ආණ්ඩුවට ජන්දය දුන්නා. තුනෙන් දෙක ගත්තා 20 වෙනි සංශෝධනය ගෙනාවා. සීනි ටිකෙන් මේ රටේ ජනතාවට ගැහුවා. කිරිපිටි වලින් ගැහුවා. ඖෂධ වලින් ගැහුවා. ඖෂධ ෆයිල් ටික ඉස්සුවා. ඖෂධ වලින් රටේ ජනතාවගෙන් විශාල මුදලක් මංකොල්ල කනවා. අහිංසක දරුවන්ගේ රෝගීන්ගේ කිරිපිටි ටිකෙන් විශාල මුදලක් මංකොල්ල කනවා. මේ හැමදේකින්ම මේ ආණ්ඩුව සහ ආණ්ඩුවේ ගජමිතුරන් හිතවතුන් හැම මාසෙකට රුපියල් විසිතිස්දහක් එක පවුලකින් මංකොල්ල කනවා.”

මේ අතර ආණ්ඩුව තුළම සිටින කණ්ඩායමක් විසින් මතුකර තිබෙන මත ගැටුම ගැන අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ විමල් විරවංශට,උදය ගම්මන්පිලට,වාසුදේව නානායක්කාරට,දයාසිරි ජයසේකරට අවශ්‍ය නම් ආණ්ඩුවෙන් ඉවත් විය හැකි බවයි.

එලෙස බිමට බැස ඔවුන්ගේ සටන පටන් ගත හැකි බවයි ඉඳුනිල් මන්ත්‍රීවරයා පැවසුවේ.

ඔවුන් එලෙස මත පළකරන්න්නේ සැබෑ ලෙසම නම් ඉදිරි අයවැයේදී විරුද්ධත්වය ප්‍රකාශ කළ හැකි බවද ඔහු කියා සිටියේය.