හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ අධික බදු ප්‍රතිපත්තියම වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුව මේ වන විට අනුගමනය කරමින් සිටින බවත් මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළ ආකාරයට ජනතාවට සහන ලබා දීමට වර්තමාන ආණ්ඩුව අසමත් වී ඇති බවත් අද (01) දින සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා කියා සිටියේ

”රටේ ජනතාව සෑම මාසයකම අවසන් දවසේ බලාගෙන සිටින්නේ ඉන්ධන මිල සංශෝධනය වෙනකන්. නමුත් ඊයේ රාත්‍රියේදී සාමාන්‍ය ජනතාව භාවිතා කරන ඔක්ටේන් 92 පෙට්ට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල අඩු කරන්න රජය කටයුතු කරලා නැහැ. නමුත් මැතිවරණ වේදිකාවේදී අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කළා ඉන්ධන මිල සංශෝධනය කරලා ඉන්ධන මිලට සහනයක් ලබාදෙන්න කටයුතු කරනවා කියලා. නමුත් සාමාන්‍ය ජනතාවට දැනෙන වෙනසක් ඉන්ධන මිල සංශෝධනය හරහා ලැබිලා නෑ. කෙසේ නමුත් මේ හරහා පෙනී යන්නේ වර්තමාන රජයට මූල්‍ය කළමනාකරණය පිළිබඳව , ආදායම් උත්පාදනය කිරීම පිළිබඳව , බදු අඩුකිරීම පිළිබඳව දැනුමක් හෝ අවශ්‍යතාවයක් නැති බවයි. ”

පාස්පෝට් පෝලිම අවසන් කිරීමට පැමිණි ජාතික ජනබලවේග ආණ්ඩුව එක මිටට පෝලිං යුගයක් නිර්මාණය කර ඇති බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.