මහමැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මැතිවරණ රාජකාරීවලින් නිදහස් කර ඇති අය හැර රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ අනෙකුත් සියලුම නිලධාරින් තැපැල් ඡන්ද ඉල්ලුම් කළ යුතු අතර, තැපැල් ඡන්ද අයදුම් කර නොතිබීම මෙන්ම අඩුපාඩු සහිතව ඉදිරිපත් කරන ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කර තිබීම ද මැතිවරණ රාජකාරීවලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.

මේ අතර එළැඹෙන මහමැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු අද මධ්‍යහන 12න් අවසන් වීමට නියමිතව තිබෙනවා.

පිළිගත් දේශපාලන පක්ෂ හැර සියලු ස්වාධීන කණ්ඩායම් මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ යුතුයි.

ඒ අනුව ඊයේ (09) දිනය දක්වා ස්වාධීන කණ්ඩායම් 293ක් ඇප මුදල් තැම්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

මේ දක්වා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර එම සංඛ්‍යාව 42ක්.

මේ අතර දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 88ක් එළැඹෙන මහමැතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

දේශපාලන පක්ෂ 46ක් සහ ස්වාධීන කණ්ඩායම් 42ක් මෙලෙස නාමයෝජනා භාර දී ඇති බව සඳහන්.

මේ අතර හෙට (11) මධ්‍යහන 12 දක්වා දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී නාමයෝජනා පත්‍ර භාරදීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.

ඉන් අනතුරුව පැය එකහමාරක කාලයක් විරෝධතා ගොනුකිරීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා.