ආර්ථික ක්‍රියාකාරකම් අලුත් කරන අලුත් නායකත්වයක් රටට අවශ්‍ය බවත් රටේ වර්ධනය සහ රටේ ජනතාව එකට ගළපන වැඩකරන නායකයෙක් රටේ ජනාධිපති විය යුතු බවත් එලෙස කටයුතු කරන එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පැවැසීය.

සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා මේ බව පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසීය,

‘‘සමගි ජනබලවේගයේ සංවිධාන ජාලය මේ වනවිට ශක්තිමත් තැනකට පැමිණිලා තිබෙනවා. ඒ වගේම සමගි ජන සන්ධානයට සම්බන්ධ සියලු පක්ෂ ඔවුන්ගේ ශක්තිය සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදවලා තිබෙනවා.

ඒ වගේම මුළු රටේම මේ වනවිට දිනන සජිත් කියන හැගිම ඇතිවෙලා තිබෙනවා. රාජ්‍ය පාලනයේ තිබෙන අසන්විධානාත්මක තත්ත්වය සමනය වෙලා සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනාධිපතිවරයා බවට පත් වේවි කියලා සියලුම දෙනාගේ උප විඥාණය තුළ අදහසක් ඇතිවෙලා තිබෙනවා. ඒ මගේම නාමයෝජනා භාර දීමෙන් පසු සමගි ජනබලවේගයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වන ක්‍රමවේදයන් තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යනවා.

ඒ වගේම ප්‍රතිපත්ති , රෙගුලාසි , නීති පැත්තෙන් රට තුළ සම්පත් ධනය උත්පාදනය කිරීම රාජ්‍යයට තිබෙන විශාල වගකීමක්. ඒ වගේම විරැකියාව නැති කරලා රැකියා උත්පාදනය කිරීමත් රජයක වගකීමක්. ඒ වගේම විධිමත් සමාජ සුබසාධන ක්‍රමයක් රට තුළ නිර්මාණය කිරීමත් රජයක වගකීමක්. මේ සම්බන්ධයෙන් වන සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති මාලාව ඉදිරියේදී ඉදිරිපත් කරනවා.

වර්තමාන ආණ්ඩුව විශාල බොරු තොගයක් සමාජ ගත කරමින් සිටිනවා. බොරුවෙන් දේශපාලන සංවාදය වහන්න හදන ක්‍රමය නැවැත්විය යුතුයි. රට පත්වී තිබෙන වියවුලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කිසිදු සම්බන්ධයක් නෑ වගේ තමයි ඔහු හැසිරෙන්නේ. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට පත්වී ඇති වියවුලට වගකිව යුතු එක් පුද්ගලයෙක්. රට කඩාගෙන වැටීම නවත්වන්න දායකත්වය ලබාදුන්නා කියලා ඔහුට කියන්න කිසිදු අයිතියක් නෑ. රට පත්වී තිබෙන උවදුරට රනිල් වික්‍රමසිංහ මහතා බෙහෙතක් නෙවෙයි. රට පත්වී තිබෙන උවදුරේ කොටසක්. ආර්ථිකය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ගත් තීන්දු තීරණ වලට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වගකිව යුතුයි.

ඒ වගේම රට තුළ ඇතිවී තිබෙන අර්බුදයේ කොටස් තුනක් තිබෙනවා. ගෙවුම් ශේෂ අර්බුදයක් තිබෙනවා. අයවැය හිගයක් තිබෙනවා. ඒ වගේම ණය අර්බුදයක් තිබෙනවා. ණය අර්බුදය කළමනාකරණය කිරීමට පමණක් ජනාධිපතිවරයා ඔහුගේ වසර දෙකක කාල සිමාවේ නොයෙකුත් දේවල් ප්‍රකාශ කරලා තිබෙනවා.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර තිබෙන එක ප්‍රධාන වෙනසක් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලන්නේ ඉලක්කම් දෙස පමණයි. ඔහු පුද්ගලයන් දෙස බලන්නේ නෑ. නමුත් සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන ආර්ථිකය ගැන හිතන්නේ ඉලක්කම් සහ ජනතාව සමඟ.
රටක වර්ධනය කියන්නේ ඉලක්කම් පමණක් නෙවෙයි. ඒ සඳහා ගැට ගැහුණ ජන සමාජයක් සිටිනවා. රට තුළ තිබෙන වර්ධනය ජන සමාජයට බෙදී යන්නේ නැත්තම් විශාල අර්බුදයක් තිබෙනවා. ආර්ථික වර්ධනය ඉලක්කමක් විදිහට ඉදිරියට ගියාට එහි ප්‍රතිලාභ රටට ජනතාවට බෙදෙන්නේ නැත්නම් වැඩක් නෑ. වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථික චින්තනය අනුව වර්ධන වේගය ඉහළ ගියාට සමාජයේ යටට ඒ වර්ධනය ගලාගෙන යන්නේ නෑ. එසේ සිදුවුණාම රටේ විශාල අස්ථාවරභාවයක් ඇති වෙනවා.

ඒ නිසා රටේ වර්ධනය සහ රටේ ජනතාව එකට ගලපලා වැඩකරන නායකයෙක් රටේ ජනාධිපති විය යුතුයි. එලෙස කටයුතු කරන එකම නායකයා සජිත් ප්‍රේමදාස පමණයි. රටේ දරුණු ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා. ඒ අනුව රටේ ආර්ථීක ක්‍රියාකාරකම් වැඩි කළ යුතුයි. ඒ වැඩි කිරීමේ වර්ධනය ඉලක්කමක් විතරක් නොකර ජනතාවට ගලාගෙන යන ආර්ථික සංවර්ධනයක් ඇති කළ යුතුයි.

ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වර්තමාන ආණ්ඩුව හැසිරුණු ආකාරය පිළිබඳව විශාල විවේචනයක් අපට තිබෙනවා. ජනතාවට විශාල පීඩනයක් ඇති වන පරදී , රාජ්‍ය සම්පත් දියවෙලා යන පරිදි තමයි වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කළේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කරන්න ඊළඟට පත්වෙන ආණ්ඩු කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව කලබලවිය යුතු නෑ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ විවෘත බුද්ධිමත් මැදිහත්වීමක් ඉදිරියේදී සිදුකරනවා. ‘‘