කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය නොදෙන්නේ නම් එදිනම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා හෙලි කලා.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් එම සංශෝධනය පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත වුවහොත්, ජනමත විචාරණයකට යා යුතුව ඇති බවත් ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබී තිබෙන මෙවැනි මොහොතක ජනතා මුදල් බිලියන ගණන් වියදම් කරමින් ජනමත විචාරණයක් පැවැත්වීම හරහා රටේ ආර්ථිකයට මෙන්ම රටේ පවතින නිදහස් සහ සාමකාමී මැතිවරණ ක්‍රමයටද බරපතල තර්ජනයක් සිදුවන බවයි විවිධ දේශපාලන පක්ෂ මෙන්ම සමාජ ක්‍රියාකාරිකයින් සඳහන් කරන්නේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයද සකස් කර තිබෙන බව මන්ත්‍රීවරයා මෙහිදී හෙලි කලා.

ජනාධිපතිවරණයට පක්ෂය විසින් අපේක්ෂකයෙකු ඉදිරිපත්කරන බව පවසමින් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරයාට අභියෝග කරමින් පසුවෙන පසුබිමක මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කර ගැනීම ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමට අභියෝගයක් ඇතිව තිබෙන බවද වලේබොඩ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.